පැල් රකින්න ගිහින් ගංවතුරට කොටුවෙලා – මව පියා සහ සිඟිත්තා දින දෙකකට පසු මුදාගනී

434

ආහාර ගෙන ගිය තරුණයන් දෙදෙනාත් බේරාගනී

ගංවතුරට කොටුවී ගසක හැදූ පැල්පතක දින දෙකක් සිරවී අතරමංව සිටි මොනරතැන්න ගම්මානයේ පදිංචි අවුරුදු තුනක් පමණ වයසැති සිඟිති දරුවා, මව ඇතුළු පුද්ගලයන් තිදෙනකුගේ ජීවිත බේරා ගැනීමට වැලිකන්ද පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ආපදා සහන සේවා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (10 දා) උදේ සමත් විය.

වන සතුන්ගෙන් වී ගොවිතැන් ආරක්ෂා කරගැනීම සඳහා ගසක් උඩ හදා තිබුණ පැලක් තුළ සිටි අවුරුදු තුනක් පමණ වයසැති දරුවා, මව සහ පියා දින දෙකක් ගංවතුරට කොටුවී ගස උඩ රැඳී සිටියදී බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිමට ගෙන ඒමට සහන කණ්ඩායම සමත් වී තිබුණි.

මාදුරු ඔයේ අතු ගංගාවක් පිටාර ගලා අතරමංවී සිටි තිදෙනාට ටියුබ් එකක ආධාරයෙන් ආහාර ගෙනගිය තරුණයන් දෙදෙනකුද එහි කොටුවී සිටියහ. මේ පිරිස බේරාගැනීමට ගිය සහන කණ්ඩායමේ නිලධාරීන් විසින් මේ සියලු දෙනා ගොඩබිමට ගෙන ආ බව වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා පැවසීය.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. එම්. රත්නායක, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එම්. එම්. හරුන් නිශා මහත්මිය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී ජයන්පති බණ්ඩාර මඩකුඔුර යන මහතුන් ඇතුළු ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.
ඇළහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment