පෙට්‍රල් පෝලිමේ ඉන්න ත්‍රිරෝද රියැදුරෝ පාර්ලිමේන්තුවට බණිනවා මුන් මොනවද කරන්නේ අහනවා? – අගමැති රනිල් වික්‍රමසිංහ

351

තම කාර්යාලය ඉදිරිපිට ද ඉන්ධන ලබා ගැනීමට ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් පෝලිමේ තිබෙන බවත් ඔවුන්ට අවශ්‍ය පෙට්‍රල් ලබාදීමට සහ රටේ පවතින ප්‍රශ්න විසඳීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසූ අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දැන් ගෑස් නැව් පැමිණ තිබෙනවා. නමුත් දේශගුණික තත්ත්වය නිසා ගෑස් තොග ගොඩ බාන්න බැරිවෙලා. දැන් වරායට ගෙනත් ලොරි මගින් ගෙනයන්න තමයි බලන්නේ. ඒ නිසා මම හිතන්නේ යම් ප්‍රමාදයක් වේවි. ලොරි හොයාගන්න එක දැන් ප්‍රශ්නයක්.

පෙට්‍රල් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක විසඳන්න තමයි අපි මෙතනට ආවේ. අපට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලැබිලා තිබෙනවා. ඒ මුදල් ඉන්ධන සඳහා ගන්න බැරිවුණත් අපි අහනවා ඒ මුදල් පෙට්‍රල්වලට යොදවන්න පුළුවන්ද කියලා.

ආසියානු සංවර්ධන මුදලෙන් ද ඒ වගේම මුදලක් ලැබෙන්න තිබෙනවා. නමුත් ඩොලර් මිලියන 30ක් ගිය මාසේ අපට ගෙවන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ඒ මුදල් හිරවෙලා තිබෙනවා. මේ ප්‍රශ්න විසඳන්න තමයි මම දෙපැත්තේම සහයෝගය ඉල්ලන්නේ. මෙතනදී ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා දෙකක් නෑ. අපි මෙතනට ඇවිත් තිබෙන්නේ ඒ ප්‍රශ්න විසඳන්න තමයි.

රජයේ සේවකයන්ට ප්‍රවාහන ප්‍රශ්න තිබෙනවා නම් අපි ඒ ගැන කතා කරමු. ඔවුනට ඒ ආධාර මුදල දෙමු ඒක ප්‍රශ්නයක් නොවෙයි. කව්ද ති්‍රීවිල් අය ගැන අහන්නේ? මගේ කාර්යාලය ඉස්සරහත් ත්‍රීවිල් පෝලිම තිබෙනවා. අපි ඒ ගැන ඉස්සෙල්ලා හිතමු. ඒ අයට එදිනෙදා තිබෙන ආදායම නෑ. ඒ නිසා සහනයක් ඒ අයට අවශ්‍යයි. ඒ අය එතන හිටගෙන ඉන්නවා. ආණ්ඩුවට බණිනවා. පාර්ලිමේන්තුවට බණිනවා. මුන් මොකද්ද කරන්නේ අහනවා. මේක තමයි ඇත්ත.

පෙට්‍රල් විතරක් නොවෙයි මෙතන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඒවාට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේමු. පොහොර ප්‍රශ්නය තිබෙනවා. මහ කන්නයට සම්පූර්ණයෙන්ම පොහොර ලබා දෙන්න තිබෙනවා. යුක්‍රේන් යුද්ධය නිසා පොහොර හිඟයක් තිබෙනවා. මම දැන් තානාපතිවරුන්ට කතා කරලා තිබෙනවා. අපට යම් කිසි අමාරු කාලයක් තිබෙනවා. අපි ඒකට මුහුණ දෙන්න ඕනා. මේකට වගකියන්න ඕනා කව්ද කියලා වාර්තා අරගෙන ඒ වාර්තා කන්න බෑ. මේ වැඩ කටයුතු කරන්න පාර්ලිමේන්තුව එකට එකතුවෙලා යන්න ඕනෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment