පොරොන්දම් ගළපා රෝගීන් අවම කරගන්න

38

වර්තමානයේ බොහෝ පවුල්වල තිබෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ රෝගීන් බහුල වීමය. ඇතැම් පවුලක් සෙම් රෝගීන් වන අතර තවත් පවුලක් වාත රෝගීහු වෙති. සමහර පවුලක ඇත්තේ පිත් රෝගීන්ය.

මෙවැනි රෝගී පවුල් සමජයේ අවම කිරීම ඉතා පහසුවෙන්ම කළ හැකි දෙයකි. ඒ නිවැරදි පොරොන්දම් පරීක්‍ෂාවකින් පසුව කසාදය කරගැනීම මගිනි. දෙමහල්ලන් සහ දරුවන් රෝගී වීමට බලපාන පොරොන්දම් අසුබ නම් අනෙක් සියල්ල ගැළපුණ නමුත් එම කසාදය අනුමත නොකළ යුතුමය. එවැනි රෝගී පවුල් පුදුමාකාර දුක්ඛදායක ජීවිත ගත කරන අයුරු දැකීමට හැකිය. කේන්දරවල නාඩි සහ රජ්ජු පොරොන්දම් නොගැළපීම එවැනි අවාසනාවන්ත පවුල් බිහිවීමට හේතු වන ප්‍රධාන සාධකය ලෙස දැක්වීමට පුළුවන.

මෙසේ අසුබ වන පොරොන්දමට අදාළ නැකැත්, පාද වශයෙන් දෙකක වූයේ නම් එතරම් අසුබ නොවන බව පොතේ සඳහන්ව තිබුණ ද මා දුටු කිසිදු තැනක පොතේ හැටියට එය සිදුව නොතිබිණි.

මෙම කේන්දර එකම නැකතට අයත් වන අතර පාද වශයෙන් දෙකකි. නැකත නාභි රජ්ජුවට අයත් වේ. එය දරුවන්ට මාරක ගෙන දෙන රජ්ජුවකි. මෙම යුවළගේ වැඩිමල් දරුවා මන්ද මානසික දරුවෙකි. නැකත පූර්ව නාඩියට අයත් වේ. මෙම පුරුෂයා බිරිඳ සහ දරුවන් හැර යන්නට ගියේය.

යට සඳහන් වන්නේ තවත් අතිවිශේෂ කේන්දර යුගලයකි.

ප්‍රභූ පවුල් දෙකක් අතර කළ යෝජිත කසාදයකින් එක්වූ යුවළකි. මෙහි නැකත් දෙක පූර්ව නාඩියට සහ නාභි රජ්ජුවට අයත් වේ. වාතය මූලිකව පවතින පූර්ව නාඩිය හිමියන් කවදාවත් සමගියෙන් වසන්නේ නැත. මෙම කේන්දර හිමියන් තුළ තත්ත්වය 100%ක් නිවැරදිව තිබිණි. මෙහි පූර්ව නාඩිය මදිවාට මෙම නැකත් බකමූණු හා කාක පක්‍ෂීන්ට අයත් වේ. එම පක්‍ෂීන් අතර තිබෙන බද්ධ වෛරය ඔබ දන්නවා ඇත. භූත වශයෙන් මෙම නැකත් හිමි වන්නේ ආපෝ (ජලය) සහ තේජෝ (ගින්දර) භූතයනටය. වතුර සහ ගින්දර එකට පවතින්නේ නැත.

නාභි රජ්ජුව දරුවන්ට මාරක ඇති කරන බව කියා ඇත. මෙම කේන්දර හිමි යුවළගේ දරු කලල දෙකක් ගබ්සා වූ අතර ඉතිරි දරුවන්ගෙන් වැඩිමලා බලගතු වාත රෝගයකින් පූර්ණ ආබාධිතයකු බවට පත්වී ඇත. මව් සහ ඉතිරි දරුවෝ ද වාත රෝගීහුය. පියා දරුවන්ගේ බාල කාලයේ මියගියේය.

මේ කේන්දර හිමි අය අතර කසාදය සුබ යැයි අනුමත කළ ජ්‍යොතිෂවේදියා නියත වශයෙන්ම පිස්සෙකි. නැති නම් මෙම යුවළගේ ජන්මාන්තර වෛරක්කාරයෙකි.

රෝගීන් මෙන්ම අවුල් සහිත පවුල් ජීවිත ගෙවන අයගේ කේන්දර ගෙන විමසා බලන කල පොරොන්දම්වල මෙන්ම ග්‍රහ පිහිටීම්වල ද දෝෂ පෙනෙන්නට ඇත.

කේන්දර නොවිමසා කරගන්නා කසාදවලට වගකිවයුත්තන් ඔවුන්ම වුවත් කිසිසේත්ම නොගැළපෙන කේන්දර සුබයැයි ගළපා දී කළ කසාදවලට වගකිවයුත්තා කොහේ හෝ සිටින අමන ජ්‍යොතිෂ්‍යවේදීයකු නොවේද?

මේ වනවිට පළමුව පෙම්වතුන් වී දෙවනුව කේන්දර රැගෙන ගැළපේදැයි බැලීමට එනඅය බහුලව සිටිති. නොගැළපෙන්නේ නම් ඔවුන් ගන්නා තීරණය කුමක්දැයි අපි නොදනිමු.

දැන් දැන් තවත් වර්ගයක දරුවෝ ද සිටිති. එනම් සුදුසු යැයි සිතෙන කෙනකු හමුවූ කල දෙදෙනාම කතාබහ කර ඉන් පසුව කේන්දර බලවාගෙන එය ගැළපේ නම් පමණක් පෙම් සබඳතාවකට යන අයය. මෙවැන්නෝ සුලබ නොවෙති.

විවාහ ජීවිතයකදී එළැඹිය හැකි දුර්විපාක බොහොමයක් ගැළපෙන කේන්දර සම්බන්ධ කර ගැනීමෙන් වළක්වා ගැනීමට හැකිය. වළක්වා ගැනීමට නොහැකි ඇතැම් දුර්විපාක සුදුසු වත්පිළිවෙත් මගින් වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට ද හැකිය.

විවාහ දිවියට එළැඹි කල අනිවාර්යයෙන්ම පල දෙන බලගතු අකුසල විපාක සහිත කේන්දර ද තිබේ. එවැනි අයට කැමැති නම් යුග දිවියකට පත් නොවී සිටීම හෝ විවාහයකට එළැඹ දුක් විඳීම හෝ තෝරා ගැනීමට හැකිය.

අනෝමා පී. ඈපා සෙනෙවිරත්න
0716826245

advertistmentadvertistment
advertistmentadvertistment