පොහොට්ටුව අමනාපකම් දුරු කළා නම් සජබට – ජවිපෙට එහෙම බැරි ඇයි?

599

පාර්ලිමේන්තු නව සැසිය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි
සජබ මන්ත්‍රීවරු සභාව වර්ජනය කරති
සජිත්-ෆොන්සේකා සුළු මොහොතකින් නැගිට යති
පාඨලී-රාජිත-වෙල්ගම කතාව අවසන් වනතුරු අසති
උල්කාපාත වේගයෙන් වැටුණු ආර්ථිකය රොකට් වේගයෙන් එසවූවා
ආර්ථික පරිවර්තන පනතක් මැතිසබයට
අඳුරු බිම්ගෙයක තිබුණු ආර්ථිකය දැන් ආලෝකය දකිනවා
ඉන්දියාව සමගත් පරිපූර්ණ වෙළෙඳ ගිවිසුමක්
රට වෙනුවෙන් පොදු සිතුවිල්ලකට එන්න
යහපාලන කාලයේ ජවිපෙ සමීපව වැඩ කළා එහි දූෂණ විරෝධී ලිපි ගොනු අනුර කුමාර ගාව තවමත් ඇති

මෙරට ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින් වුවත් එය රොකට් වේගයෙන් යළි ඔසවන්නට සමත් වූ බවත් ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් කරා යෑමට ළඟදීම ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා ආයතන අලුතෙන් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පොහොට්ටුව අමනාපකම් දුරු කළා නම් සජබට - ජවිපෙට එහෙම බැරි ඇයි?

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ ජනාධිපති ඊයේ (07දා) පෙරවරුවේ මේ බව සඳහන් කළේය.

වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස තවමත් සමහර දේශපාලන කණ්ඩායම් යල් පැන ගිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වීමට බලන නමුත් මෙතැනින් ඉදිරියට යෑමට නම් විiාත්මක ක්‍රමවේද මත නවීන, ශක්තිමත් ආර්ථිකයක් කරා පරිවර්තනය විය යුතු බවත් හෙතෙම කීය.

2022ට වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්න පුළුවන් වුණේ අහම්බයකින් ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසා බවත් එම නිසා අඳුරු ආර්ථික බිම් ගෙයක සිරවී සිටි රට දැන් බිම් ගෙය කෙළවර ආලෝකය දකින බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණා සේ ඉන්දියාව සමග අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරන බව ද කී ජනාධිපති සිංගප්පූරුව සමග ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී චීනය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව ද කීය.

තමාව තදින්ම විවේචනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැරණි එදිරිවාදිකම් අමතක කළා සේ තමන් දේශපාලනයට හඳුන්වා දුන් අය ද සිටින සමගි ජන බලවේගයට එසේ කළ නොහැක්කේ ඇයි ද සහ යහපාලන ආණ්ඩුව සමග සමීපව වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණට ද රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න බැරි ඇයි? ද විමසන්නේ යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. එම නිසා සියලු දෙනා එකට එක්වී අලුත් ගමනක් යමු, අලුත් හෙටක්, අලුත් රටක් නිර්මාණය කරමු යනුවෙන් පවසමින් ඔහු සිය කතාව අවසන් කළේය.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද තමා තමාට ම පහනක් වෙමින් ජීවත් වන ලෙස 1978 දී විධායක ජනාධිපති පදවියට පත්ව පාර්ලිමේන්තුවෙන් සමුගත් අවස්ථාවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කළ සඳහන ඔහුගේ බෑණා කෙනෙකු වන වත්මන් ජනාධිපති විසින් ද ඊයේ යළි සිහිපත් කිරීම විශේෂ සිදුවීමක් විය.

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් වුවද ඉතා අභිමානවත් ලෙස එය පැවැත්විණි. ඊයේ දින පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැමිණි අතර පසුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදු විය. අනතුරුව පෙරවරු 10.15ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සිදුවූ අතර කථානායක ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් විසින් හරසරින් ජනාධිපති පිළිගැනීම සිදු කෙරිණි. පසුව දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජය මංගල ගාථා ගායනා කර ආශිර්වාද කිරීමෙන් පසුව පාර්ලිමේන්තු පිළඳුම් කාමරය වෙත කැඳවාගෙන යනු ලැබිණ. අනතුරුව පෙරවරු 10.30ට පාර්ලිමේන්තු වැඩ කටයුතු ආරම්භ කරමින් නව සැසිවාරය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් කියවන ලදි. අනතුරුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කළේය.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණෙන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා ඇතුළු සජබ මන්ත්‍රීවරු සීමිත පිරිසක් එහි සිටියහ. පසුව ඔවුහු සභාගැබෙන් පිටව ගියහ. එහෙත් ජනාධිපතිගේ කතාව අවසන් වන තෙක් පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, ඉෂාක් රහුමාන්, වඩිවෙල් සුරේෂ්, ෆයිසාල් කාසීම්, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පමණක් රැඳී සිටිමින් ජනපතිගේ කතාවට ඇහුම්කන් දුන්හ.

ජනාධිපති සභා ගැබෙන් නික්මී යන අතරේ විපක්ෂ මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා සමග යම් විශේෂ කතාබහක් සිදු වනු අයුරු දක්නට ලැබිණ. ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විජිත හේරත් හෝ හරිනි අමරසූරිය සභාවේ දක්නට නොලැබිණි. ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ඊයේ සභාවට පැමිණ නොසිටියේය. ඉන් පසුව පැවැති තේපැන් සංග්‍රහයට ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි වී සිටියේ කිහිපදෙනෙකු පමණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

පාර්ලිමේන්තුව – පොහොට්ටුව අමනාපකම් දුරු කළා නම් සජබට – ජවිපෙට එහෙම බැරි ඇයි?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 තමාව තදින්ම විවේචනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැරණි එදිරිවාදිකම් අමතක කළා සේ තමන් දේශපාලනයට හඳුන්වා දුන් අයද සිටින සමගි ජන බලවේගයට එසේ කළ නොහැක්කේ ඇයිද යන්නත් යහපාලන ආණ්ඩුව සමග සමීපව වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණටද රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න බැරි ඇයිදැයි කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විමසීය.

 නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති ඊයේ (07 දා) පෙරවරුවේ මෙම සඳහන් කළ අතර ‘එකට එක්වී අපි හදමු අලුත් රටක්’ යනුවෙන්ද එහිදී පැවසීය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

 අතීතයේ සිට මේ දක්වාම ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පෞද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා. සමහර අවස්ථාවල දී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවන්වල දී අර්බුදයෙන් ගොඩ එන්න බැරි වුණා. අර්බුදයකින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ අර්බුදයකට සාප කර කර සිටීමෙන් නොවෙයි. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නොවෙයි. ලෝකයේත්, රටවලත්, පෞද්ගලික ජීවිතවලත් අර්බුද විසඳා ගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමෙන්.

 අර්බුද කළමනාකරණයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද? බුදුන් වහන්සේගේ දේශනාවක් මා මෙතැනදී උපුටා දක්වන්නට කැමතියි. ‘අත්තදීපා විහරත’ තමා තමාටම පහනක් කොට ජීවත් වෙන්න. අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර කර සිටීමෙන් අර්බුද ජයගත් අවස්ථාවක් ලෝකයේ කිසි තැනක නෑ. අප අපටම පහනක් වුණේ නැත්නම්, අපේ සිතිවිලි, අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නෑ. රටට යහපතකුත් නෑ. අර්බුදයට විසඳුමකුත් නෑ. ක්‍රම වෙනසක් නැතිනම්, සිස්ටම් චේන්ජ් ගැන උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටෙක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වෙන්නේ නෑ.

 2022 පෙබරවාරියේ මේ රට වැටී තිබුණ තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්න අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරියට වඩා යහපත් මට්ටමකට අපේ රට

 ගොඩනැංවී තිබෙනවා.

 ගිය වසරේ පෙබරවාරියේ සහ මේ දක්වා අපේ ආර්ථික දර්ශක කිහිපයක් මා පෙන්වා දෙන්නම්. ගිය වසරේ උද්ධමනය සියයට 50.6යි. අද එය සියයට 6.4 දක්වා පහළ වැටිලා. ආහාර උද්ධමනය සියයට 54.4ක්. අද එය සියයට 3.3යි

 එදා ඩොලරයක අගය රුපියල් 362ක්. අද රුපියල් 314යි. 2022 අවසාන වෙද්දී අයවැය ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7ක්. නමුත් 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට අප සමත් වුණා. නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණු 06 වැනි අවස්ථාව මෙයයි.

 2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම් හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.9ක්. 2023 වසරේ අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1977න් පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් ඇති කර ගත් මුල්ම අවස්ථාව මෙයයි.

 2023 දී සියයට 28ක් වූ පොලී අනුපාතය දැන් සියයට 12යි. 2022 අවසාන වෙද්දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුවා. 2023 සැප්තැම්බරය වෙද්දී මේ රාජ්‍ය ව්‍යවසාය 52 රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තිබෙනවා. හැබැයි මේ ආයතනවල ණය බර උසුලන්නට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි.

 තෝරාගත් ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදා. ඒ වෙද්දි අපේ ද්‍රවශීල විදේශ විනිමය සංචිත බින්දුවටම වගේ වැටිලා තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්.

 2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්. ගෙවුණු කෙටි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් අප කැපී පෙනෙන ප්‍රගතියක් ලැබුවා. 2021 අපේ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 194,495ක්. 2023 වසරේ ඒ සංඛ්‍යාව 1,487,303ක් දක්වා ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. මේ වසරේ ජනවාරියේදී 200,000කට අධික සංචාරකයන් පිරිසක් පැමිණියා.

 අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට එය ආපිට හරවන්න පුළුවන් වෙලා තිබෙනවා. එය රොකට් වේගයෙන් යළි ඔසවන්නට අප සමත් වුණා. වී ෂේප් රිකවරි නැත්නම් වී හැඩයේ ප්‍රතිසාධනයක් අප ලබමින් ඉන්නේ. එය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩා වැටුණු රටවල ආර්ථික ප්‍රතිසාධනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වගේ දීර්ඝ කාලීන දුෂ්කරතා සහ වේදනාවන්ගෙන් තොරව අපේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට අපට පුළුවන් වුණා.

 මා එක් උදාහරණයක් ගෙනහැර දක්වන්නම්. ග්‍රීසිය තමන්ට ණය ගෙවාගන්න බැරි තරමේ ආර්ථික කඩා වැටීමක් සිදුව ඇති බව 2009 දී ප්‍රකාශයට පත් කළා. ඉන්පසු මුළු රටම වේදනා විඳිමින් යළි තමන්ගේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගැනීමට වෙහෙසුණා. ඒ කාලය තුළ අනේක දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. යළිත් ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීමට ඔවුනට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා. නමුත් අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාවක්. අපට ඒ ආකාරයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි? 2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022ට වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්න පුළුවන් වුණේ අහම්බයකින් නෙවෙයි. ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසයි.

 පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දු තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසි සහ ඉලක්ක නොතකා, රට වෙනුවෙන් ඒ තීන්දු තීරණ වෙනුවෙන් අත් ඉස්සුවා. මතු යම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදීත්වය හිමිවන බව මට විශ්වාසයි.

 අප මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මගින්, රටේ එවකට තිබුණු සැබෑ තත්ත්වය මා පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩා වැටීම වළකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. 2023 වසරේ අයවැය ඔස්සේ ආර්ථිකය කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කිහිපයක් මා ඉදිරිපත් කළා. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ආරම්භක පියවරක් ලෙසයි. අසීරුවෙන් වුණත්, සමහර අවස්ථාවල අකැමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීර්ණ වෙලා ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා.

 අඳුරු ආර්ථික බිම් ගෙයක සිරවී සිටි අපි දැන් බිම් ගෙය කෙළවර ආලෝකය දකිනවා. දැඩි සත්කාර ඒකකයේ පණ අදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තිබෙනවා. ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනකුට නොසිතූ විරූ දුක්ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ට රැකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදායම් මාර්ග නැති වුණා. තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා. තවත් සමහරුන්ට අයිතිය අහිමි වුණා. මේ බොහොමයක් දුක් කරදර උරුම වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි.

 වර්තමානයේ අප උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යළිත් ජනතාවට ලබා දීමටයි. ජනතාවට අහිමි වූ අයිතීන් යළි ලබා දීමේ වැඩපිළිවෙළ උරුමය නමින් පෙරේදා අප ආරම්භ කළා. උරුමය වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. එකක් ඉඩම්. අනෙක නිවාස.

 මෙතැනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා. 1897 මුඩුබිම් පනත මගින් ජනතාවගේ ඉඩම් අයිතිය බි්‍රතාන්‍ය යටත්විජිත රජය ලබා ගත්තා. නිදහසින් පසුව බලයට ආ කිසිදු ආණ්ඩුවක් මේ පැහැර ගත් ඉඩම් අයිතිය යළිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නෑ. අප ඒ ඉඩම් අයිතිය යළි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා. එමඟින් මිලියන දෙකකට අධික ජනතාවකට යළි ඉඩම් අයිතිය ලබා දෙනවා. ඉඩම් හිමියන් මිලියන දෙකක් අපේ සමාජයට එක් කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට පමණ හරිහමන් ආදායමක් නෑ. සුදුසු නිවසක් නෑ. මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබාදීමට අප ඉදිරියේදී පියවර ගන්නවා. නාගරික අඩු ආදායම්ලාභී නිවාස 50,000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවායේ ජීවත් වන ජනතාවට ලබා දෙනවා.

 මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා. මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා. මේසා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසි කලෙක ලබා දී නෑ.

 අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළැඹෙන උත්සව සමයේ ලබා දෙනවා.

 2022 අගෝස්තු මස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා. වෛද්‍යාධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමකින් තොරව ගොඩ ගැසී තිබුණා. අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම්පත් 4000ක් පමණ ලැබුණා. අප ඒ සියල්ල සඳහා ගෙවීම් කළා. 2023 වසර පුරා

 රෝගීන් 4917 දෙනකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා. ඒ වගේම දැන් ගෙවීම් අපේක්ෂාවෙන් මාස ගණන් ළතැවෙන්නට අවශ්‍ය නෑ. අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කළා. 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවක් තිබෙනවා. ඒ ගැටලුවට නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා.

 අප ලබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිබිඹු වෙනවා. කලෙකට කලින් කතා කළේ විදුලිබල කප්පාදුව නිසා විඳින්නට වෙන කරදර ගැන. එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නෑ අඛණ්ඩව විදුලි බලය ලබා දෙන්න කියලා. අද කතා කරන්නේ විදුලි බිල ගැන. කලෙකට කලින් කතා කළේ කළු කඩයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන. තෙල් පෝලිම්වල දවස් තුන හතර රස්තියාදු වීම ගැන. අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අලුතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන. එදා කතා කළේ එළවළුවක් ගන්න විදිහක් නැති එක ගැන. අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන. එදා කතා කළේ පොතක් පතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන. අද කතා කරන්නේ වැට් බද්ද ගැන. ඔව්. වැට් බද්ද බොහෝ අයට බරක්. අප ඒ ගැන නොදන්නවා නෙවෙයි. ඒ ප්‍රශ්නය අපට නොදැනෙනවා නෙවෙයි. අප ඒ ගැටලුවටත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නෙ. 2022 වසරේ ලියාපදිංචි සංඛ්‍යාව 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,000,029ක් දක්වා ඉහළ නැංවුණා. සියයට 130ක වැඩි වීමක්. බදු ජාලය පුළුල් වෙන්න වෙන්න තනි පුද්ගලයකුට හෝ තනි ආයතනයකට දරන්න වෙන බදු බර අඩු වෙනවා.

 මේ වසරේ මුල් මාස හය තුළ මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මෙය අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වේවි.

 මේ වසරේදී සියයට 2ක සියයට 3ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව අයිඑම්එෆ්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තිබෙනවා. 2025 වසරේ එය සියයට 5 දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා.

 2022 වසරේ ගින්දරකට වැටී තිබුණු රට ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2022ට වඩා 2023 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මේ මාර්ගයේම ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා.

 නමුත් ඒ පමණින් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? අප තවමත් බාහිර වාණිජ පදනමෙන් ලබාගත් කිසිදු ණයක්

 ගෙවන්නේ නෑ. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීම් ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වගේම ඩොලර් අප සතු විය යුතුයි.

 2023 සැප්තැම්බරය වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙවා අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයා ගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි.

 ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා අපට වසරකට ගෙවිය යුතු ණය මුදල අඩු කර ගන්න හැකි වෙනවා. ඒ යටතේත් අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් හැමදාමත් ණය ගෙව ගෙවා ඉන්නට බැහැ. දිගින් දිගටම ණය වෙන්නත් බැහැ.

 ණය මානසිකත්වයෙන් අප අත් මිදෙන්න ඕනෑ. ණය ආර්ථිකයෙන් ගැලවුණේ නැත්නම් මේ රටට අනාගතයක් නෑ. හෙට දවසක් නෑ. එහෙනම් අප ණය ආර්ථිකයෙන් මිදී, අපටම කියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීමට වෙහෙසිය යුතුයි. අපනයන ආදායම් සහ විදේශ ආයෝජන කඩිනමින් ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ කරුණු සාක්ෂාත් කර ගැනීමටයි.

 ඒ සඳහා අවශ්‍ය පදනම සකසමින්, ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහි අවසාන ප්‍රතිඵලය තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි. හරිත ආර්ථිකයක් සකස් කර ගැනීමයි. මේ ක්‍රියාවලියේ මූලික ගුණාංග වෙන්නේ දූෂණය තුරන් කිරීම සහ සමාජ නවීකරණයයි.

 දූෂණය මෙරටට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා. ඒත් දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් හා විධිමත් නීතිරීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක් අවබෝධ කරගෙන නැහැ. හොරු අල්ලනවා, හොරු අල්ලනවා කියා කෑ ගැසුවාට හොරු අල්ලන්න බෑ. හොරු අල්ලන්න නම් ඒ සඳහා පදනම් කර ගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම, විද්‍යාත්මක ක්‍රමවේදයක් ද අවශ්‍ය වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන් ද අවශ්‍ය වෙනවා.

 බොහෝ අය හිතාගෙන ඉන්නේ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් ප්‍රශ්නය අවසන් කියායි. එය මිථ්‍යාවක්. දූෂණයක් සිදුවීම වැළැක්වීම සඳහා ද තදබල නීති රීති සකස් කළ යුතුයි. ඒ වගේම දූෂිතයන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. දූෂණ මැඬ පැවැත්වීමට මේ කරුණු දෙකම එකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි.

 සංචාරක ව්‍යාපාරය අපට පහසුවෙන් දියුණු කරගත හැකි ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අවශ්‍ය මිනිස් සහ භෞතික සම්පත් දියුණු කරලීමටත්, රටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් අප පියවර ගනිමින් ඉන්නවා. වසරකට  ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේ අපේක්ෂාවයි.

 පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් අපේ රට පොහොසත්. ඒ අවස්ථාවෙන් අප උපරිම පල නෙළා ගත යුතුයි. ජාත්‍යන්තර තාක්ෂණය මෙරටට ලබාගෙන අපේ රටේ පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කළොත් බලශක්ති අපනයනය කරන රටක් ලෙස විදේශ විනිමය ඉපැයීමට අපට පුළුවන්.

 අතීතයේ සිට මේ දක්වාම අපි කෘෂිකර්මාන්තයේ යෙදෙනවා. වගා කරනවා. නමුත් තවමත් අප අනුගමනය කරන්නේ යල් පැන ගිය ක්‍රමවේදයන්. දශක ගණනාවක් තිස්සේ කෘෂි නවීකරණ කාර්යයන් කිසිවක් අප සිදු කර නැහැ.

 වියළි කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉදිරි කන්න තුන හතර තුළ දෙගුණ තෙගුණ කරලීමේ සැලසුම අප ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණ අප තීන්දු කර අවසන්. මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරා ගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනවා. මේ අයුරින් වියළි කලාපයේ කෘෂි භෝග ඵලදායීතාව වැඩි කර ගැනීමත් සමග තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගන්න අවස්ථාව ලැබෙනවා.

 හැත්තෑ ගණන්වලදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරා ගත් ඵලදායී ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් මේ වෙද්දී නාස්තියට ගොස් තිබෙනවා. සමහර ඉඩම්වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. සමහර ඉඩම් කිසිදු වැඩකට යොදාගෙන නෑ. ජනවසම, වැවිලි සංස්ථාව ආදී විවිධ රාජ්‍ය ආයතන සතු මේ ඉඩම් ඔහේ නාස්ති වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා මහජන මුදල් බිලියන ගණන් වැය වෙනවා. දෙපැත්තකින්ම රටට පාඩුවක්. මහා නාස්තියක්.

 අප මේ ඉඩම්වලින් උපරිම ඵලදායීතාව ලබා ගැනීම උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. ස්වදේශීය ව්‍යවසායකයන්ට මේ ඉඩම් අපනයන වාණිජ වගාවන් උදෙසා දිගු කාලීන බදු පදනම මත ලබා දෙනවා. අවශ්‍ය නම් ඒ ව්‍යවසායකයන්ට විදේශ තාක්ෂණය හා ආයෝජන ලබා ගැනීමේ අවසරය ද අප ලබා දෙනවා. නිසි ලෙස භාවිතයට නොගෙන නාස්තියට යමින් තිබෙන ඉඩම් විදේශ විනිමය උල්පත් බවට පත් කර ගෙන ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස යොදා ගැනීම මෙහි අරමුණයි.

 පසුගිය නිදහස් උළෙල සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙහි පැමිණි තායිලන්ත අගමැතිතුමා එතුමාගේ රටේ කෘෂි විප්ලවය ගැන කරුණු සඳහන් කළා. සම්ප්‍රදායේ සිර නොවී නවීන තාක්ෂණය හරි හරියට ප්‍රයෝජන ගැනීම නිසා තායිලන්තය කෘෂිකර්මය ඔස්සේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. මේවායින් අප පාඩම් ඉගෙන ගත යුතුයි.

 අපේ අවධානය යොමු කෙරෙන තවත් ක්ෂේත්‍රයක් තමයි විදේශ ආයෝජන. අපේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරලීමේදී විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ විශාල අනුබලයක්. නමුත් වර්තමානයේ විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට එන්න මැලි වෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හිසරදයක්. කරදරයක්. අවසර ගැනීම් සඳහා නිල තහංචි ගණනාවක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. සමහර පුද්ගලයන් සහ ආයතනවලට අල්ලස් දෙන්නත් සිද්ධ වෙලා තිබෙනවා. ඒ සියල්ලට නැවතීමේ තිතක් තබමින් මහා පරිමාණයෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ සැලැස්මක් දැන් අප සකස් කර අවසන්. සරල ක්‍රියාවලියක් ඔස්සේ ආයෝජන අවස්ථා සැලසීමට එමඟින් හැකි වෙනවා. දූෂණ වංචා කිරීමේ ඉඩකඩ එමගින් ඇහිරෙනවා.

 චීනය, වියට්නාමය වැනි රටවල ආයෝජන සඳහා සියලු අවසර සහ පහසුකම් දින දෙක තුනකට අඩු කාලයකදී එක වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම් සපයා තිබෙනවා. ඉඩම් පමණක් නොව, විදුලි බල සහ ජල පහසුකම් ද, ප්‍රවේශ මාර්ග ද ඉතා කඩිනමින් ලබා දෙනවා. මේ බොහෝ කාර්යයන් පරිගණක හරහා සිදුවන නිසා නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නෑ.

 මේ සියලු කරුණු සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් පදනම් කරගෙන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන ආර්ථික කොමිසමක් පිහිටු වීමට මූලික කටයුතු දැන් සකස් කර අවසන්. පුළුල් පරාසයක ක්‍රියාත්මක වන ආයෝජන නීති සහ වැඩසටහන් මෙම කොමිසම හරහා ක්‍රියාවට නංවනවා.

 අවධානය යොමු කළ යුතු තවත් ක්ෂේත්‍ර දෙකක් තමයි, අධ්‍යාපන හා සෞඛ්‍ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල මූලික නීති සැකසුණේ 2 වන ලෝක යුද්ධ සමයේ. අප ඒ කාලයේ යටත් විජිතයක්. අප එවක බොහෝ දිළිඳු රාජ්‍යයක්. එවැනි සමාජයක් සඳහා සකස් කළ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පිළිවෙතක් පදනම් කරගෙන නූතන ලෝකයට ප්‍රවේශ වෙන්න බෑ. 21 වන සියවසේ අභියෝගයන් ජය ගන්නත් බෑ. සීග්‍ර ආර්ථික වර්ධනයක් මෙන්ම දිළිඳු සහ අවදානම් කොටස් ආරක්ෂා කර ගත හැකි පරිදි මෙම ක්ෂේත්‍රයන්හි ගැඹුරු නවීකරණ වැඩ පිළිවෙතක් ක්‍රියාවට නැංවීමට අප කටයුතු කරනවා.

 විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් වහාම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ලෝකයේ හෙට දවස රඳා පවතින්නේ නව තාක්ෂණ දැනුම මතයි. තොරතුරු තාක්ෂණ, කෘතිම බුද්ධිය ආදී ක්ෂේත්‍රයන්හි පරිපූර්ණ වශයෙන් සන්නද්ධ වූ තරුණ පරපුරක් අප නිර්මාණය කරගත යුතුයි. මෙන්න මේ නිසයි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම තෘතීය අධ්‍යාපනය ලබා දිය හැකි පිළිවෙතක් අප සකසමින් සිටින්නේ. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ විද්‍යාල ගණනාවක් අලුතින් පිහිටුවීමට අප ක්‍රියා කරනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් නොවන හැම දරුවකුටම වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ පිළිවෙතකුත් අප සකසනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල බිහි කරනවා.

 රටේ සියලු ආරක්ෂණ ජාලයන් නවීකරණය කරනවා. බුද්ධි අංශ, ආරක්ෂක උපකරණ, පුහුණු වීමේ ක්‍රම, භට පිරිස්, තාක්ෂණික උපාංග, ක්‍රමෝපායික කටයුතු ආදී සියලු අංශ රටට මතුවිය හැකි විවිධාකාර අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණදිය හැකි ආකාරයට සකස් කරනවා.

 අපේ විදේශ සම්බන්ධතා පිළිබඳව ද යළි සලකා බැලීම යුගයේ අවශ්‍යතාවක්. භූ දේශපාලනික ප්‍රවණතා මෙන්ම, ආර්ථික විභවතාවන්ගෙන් නිසි පල ලබා ගත හැකි ආකාරයට විදේශ සම්බන්ධතා ජාලය යළි නිර්මාණය කර ගත යුතුයි. ඒ නිසා නොබැඳි ප්‍රතිපත්තිය හා සියලු රාජ්‍යයන් සමඟ මිත්‍රශීලීත්වය පදනම් කරගෙන විදේශ සම්බන්ධතාවන් සකස් කර ගත යුතුයි. ඒ වගේම රටේ ආර්ථික විභවය ශක්තිමත් කරන ආකාරයේ නව ආරක විදේශ ප්‍රතිපත්ති අප අනුගත කර ගත යුතුයි. මේ අනුව අපේ විදේශ ප්‍රතිපත්තිමය දිශානතිය යුගයට ගැළපෙන පරිදි වෙනස් කරනවා.

 අපේ නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ සඳහා ප්‍රවේශ කරලීමට අවකාශ සැලසෙන නව ආර්ථික සබඳතා ජාලයක් නිර්මාණය කර ගැනීමට ද අප ක්‍රියා කරනවා. ඒ අරමුණින් රටවල් ගණනාවක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගැනීම අප ආරම්භ කළා. පසුගියදා අප තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණා. ඉන්දියාව සමඟ අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරනවා. සිංගප්පූරුව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී චිනය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සමගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

 ඒ වගේම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට ඇතුළු වෙනවා. යුරෝපීය සංගමයේ වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හා සම්බන්ධ වෙනවා.

 විවිධ ක්ෂේත්‍ර මේ අයුරින් වෙනස් වීම් හා නවීකරණයට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ ජන ජීවිතය ඉහළ තලයකට පත් වීමයි. රටේ හැම ජන කොටසකටම ප්‍රතිලාභ බෙදී යන සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම, සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කරලීමයි.

 අපි තවත් කරුණක් ගැන විශේෂ අවධානය යොමු කරනවා. අද අපේ ආර්ථිකය කොළඹ නගරය හා බස්නාහිර පළාත වටා කේන්ද්‍රගතවයි තිබෙන්නේ. රටේ ආර්ථිකයෙන් සියයට 46ක් හසුරුවන්නේ බස්නාහිර පළාත තුළ.

 මේ තත්ත්වය වෙනස් කරලීම අත්‍යවශ්‍ය කරුණක්. අපි බස්නාහිර පළාතෙන් පිටතට ආර්ථිකය ව්‍යාප්ත කරනවා. යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය, හම්බන්තොට, මහනුවර ආදී නගර කරා අපේ ආර්ථික ශක්තිය පුළුල් කිරීමේ වැඩ සැලසුමක් අප ක්‍රියාත්මක කරනවා. දැනටමත් ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අප ඉන්දියාව සමඟ ආරම්භ කර තිබෙනවා.

 ඒ වගේම පළාත් නවයේම ආර්ථිකය ශක්තිමත් කරලීමට පියවර ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා බලතල පිළිබඳ සඳහන් තුන්වැනි ලැයිස්තුවේ අදාළ බලතල කීපයක් අප නිසි පරිදි පළාත් සභා වෙත ලබා දෙනවා. වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, සංචාරක වැනි කේෂ්ත්‍ර උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. එමගින් ඒ ඒ පළාත් තුළ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට අපට හැකි වෙනවා. එමගින් පළාත් අතර ආර්ථික තරගයක් ඇති කිරීමෙන් පළාත් නවයම එකවර ඉදිරියට ගැනීමට අවකාශ සලසනවා.

 මතක තියාගන්න. මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නැහැ. ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම්. විද්‍යාත්මක විසඳුම්. නමුත් තවමත් අපේ සමහර දේශපාලන කණ්ඩායම් යල් පැන ගිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වෙන්න බලනවා.

 මෙතැනින් ඉදිරියට යෑමට නම් නවීන, ශක්තිමත් ආර්ථිකයක් කරා අප පරිවර්තනය විය යුතුයි. මා ඒ සඳහා ළඟදීම ආර්ථික පරිවර්තන පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට අදාළ ආයතන අලුතෙන් ස්ථාපිත කරනවා.

 අපට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ දේශපාලන අභිලාෂයන් හිස මත තියාගෙන, මැතිවරණයකදී ලබන ඡන්දය ඉලක්ක කරගෙන, ඉටු කළ නොහැකි පොරොන්දු දීමෙන් හෝ ප්‍රලාප දෙඩීමෙන් නොවෙයි. අපේ අනාගත තරුණ පරපුර වෙනුවෙන්, රට ගොඩනැංවීමේ වැඩපිළිවෙළ තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමෙන්.

 මෙම පරිවර්තනය කෙටි කලෙකින් කළ හැකි දෙයක් නොවෙයි. එය දීර්ඝකාලීන වෙහෙසකර ව්‍යායාමයක්. මේ මාර්ගයේම ගියොත් 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් විය හැකි බව මා පෙන්වා දුන්නේ ඒ නිසයි. කිසිදු අර්බුදයකට කෙටි කාලීන විසඳුම් නෑ. කිසිදු ඉලක්කයක් දවසින් දෙකෙන් ජය ගන්නට බැහැ.

 මගේ අදහස් දැක්වීම ආරම්භයේ මා බුදුන් වහන්සේගේ දේශනාවක් ගැන සඳහන් කළා. බුදුන් වහන්සේගේ දේශනාවෙන් වසර ගණනාවකට පස්සෙ, ක්‍රිස්තු පූර්ව පන්සිය ගණන්වලදී චීනයේ ජීවත් වූ දාර්ශනික කොන්ෆියුසියස්තුමා මෙන්න මෙහෙම කියා තිබෙනවා. ලෝකය ගොඩනැංවීමට නම්, ඊට පළමුව දේශය

 ගොඩනැංවිය යුතුයි. දේශය ගොඩ නැංවීමට නම් ඊට පළමුව පවුල ගොඩනැංවිය යුතුයි. පවුල ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ පුද්ගලික ජීවිත ගොඩ නැංවිය යුතුයි. පුද්ගලික ජීවිත ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ හදවත් නිවැරදි කරගත යුතුයි.

 ඒ නිසා මා මේ ගරු සභාවේ සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි පළමුව අපේ හදවත් නිවැරදි කරගනිමු කියායි. අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා නිර්මාණය කර දෙන්නට නම්, ඔවුන්ට යහපත් දේශයක් තනා දෙන්නට නම් අප සියලු දෙනාම නිවැරදි මගට පිවිසිය යුතුයි. අපේ හදවත් නිවැරදි කරගත යුතුයි.

 අපේ ගමන තවත් වේගවත් කරගන්න පුළුවන් වෙන්නේ අප සියලුදෙනා එකට එක් වී සමගියෙන් මේ අභියෝගයට මුහුණ දුන්නොත් විතරයි. තම තමන්ට ලැබෙන පදවි තානාන්තර ගැන සිහින මවන සමහරු රටට වඩා ඒ තනතුරුවලට ආදරේ කරනවා. ඒ තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරනවා. රටත් ජනතාවත් රවට්ටනවා. යථාර්ථයට පිටුපා සිහින මාවතේ ගමන් කළොත් යළිත් අපි වැටෙන්නේ මහා අනතුරකට.

 මම නැවතත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි. අපි එකට එකතුව සාකච්ඡා කරමු. අප මේ ක්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. සාකච්ඡා කරමු. අපි එකට එක්වී සාකච්ඡා කර රටට වඩාත්ම යහපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරමු. එවැනි සාකච්ඡාවන්ට අප නිරතුරුවම සූදානම්.

 ඔබ එවැනි සාකච්ඡා මාලාවකට එකඟ නම්, ඒ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්හි ඉහළම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන්නත් මා සූදානම්.

 මේ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන්, තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදුජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදිකම් අමතක කළා. පොදු මතයකට එකඟ වුණා. සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කාලයක් එකට දේශපාලනය කළ අය. මම දේශපාලනයට හඳුන්වා දුන් අයත් එහි ඉන්නවා. රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න පොදුජන පෙරමුණට පුළුවන් වුණා නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරි ඇයි?

 ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමග සමීපව වැඩ කටයුතු කළා. දූෂණ විරෝධී වැඩපිළිවෙළේ මූලික කාර්යභාරයක් අනුර දිසානායක මන්ත්‍රීතුමා ඉටු කළා. දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයවීම සඳහා ආනන්ද විජේපාල මහතාගේ නම යෝජනා කළෙත් දිසානායක මහතාමයි. ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් අනුර දිසානායක මහතා ළඟ තිබෙනවා. ඉතින් රට වෙනුවෙන් පොදු ගමනකට එකතු වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බැරි ඇයි?

 අපි මැතිවරණවලදී වෙන් වී තරග කරමු. ඒත් රට

 ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු. ඒ නිසා රට වෙනුවෙන් පොදු සිතුවිල්ලකට – පොදු එකඟතාවකට එක්වෙන්න කියා නැවත නැවතත් මා ඔබ සැමට ආරාධනා කරනවා. වෙනස අපෙන්ම පටන් ගනිමු. අපේ හදවත් නිවැරදි කර ගනිමු. අපි අපටම පහනක් වෙමු.

 විවිධ පෞද්ගලික ප්‍රශ්න සහ අභිමතාර්ථ නිසා මේ වගකීම පැහැර හැරියොත් ඉතිහාසය විසින් අප ද්‍රෝහීන් හැටියට නම් කරාවි. ඒ නිසා අපි අලුත් ගමනක් යමු. අලුත් හෙටක්, අලුත් රටක් නිර්මාණය කරමු.

 එන්න. එකට එක්වී අපි හදමු අලුත් රටක්…!

advertistmentadvertistment
advertistmentadvertistment