ප‍්‍රියන්ත කුමාරගේ පවුලේ සුබ සාධනයට රජය 100% ක්ම කැපවෙනවා

227

පාකිස්තානයේදී ඝාතනයට ලක් වු පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ සුබ සිද්ධිය හා අනාගතය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය සියයට සීයක් ඇප කැපවී ක‍්‍රියාකරන බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

ප‍්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් ඇතුළු එම පවුලේ අනාගතය වෙනුවෙන් ගත යුතු සියලූ පියවර පිළිබඳව ශ‍්‍රී ලංකා රජය නිරන්තයෙන් පාකිස්තානු රජය සමග සම්බන්ධ වී අඛණ්ඩව කටයුතු කරන බව පැවැසූ ඇමැතිවරයා පාකිස්තානයේ කෙරෙන විමර්ශන පිළිබඳව දිනෙන් දින ශ‍්‍රී ලංකා රජය දැනුවත් කරන බව එරට රජය ප‍්‍රකාශ කර තිබෙන බව කීය.

මෙය අදහාගත නොහැකි සිදුවීමක් බවත් ශ‍්‍රී ලාංකිකයකු සම්බන්ධයෙන් විදේශයකදී මෑතක මෙවැනි සිද්ධියක් වී නොමැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අයට ශ‍්‍රී ලංකා රජයේ හෘදයාංගම ශෝකය පළකරන බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙම සිදුවීම පාකිස්තානු රජය සහ ජනතාව පිළිකුල් සහගතව හෙළාදකින බව එරට අගමැතිවරයා ශ‍්‍රී ලංකා රජයේ නායකයන්ට දැනුම් දුන් බවත් පැවසු හෙතෙම ප‍්‍රියන්ත කුමාර දියවඩන මහතා යම් ආගමකට නිග‍්‍රහ කළ බව කියන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත් ඊට කිසිදු සාක්‍ෂියක් නැති බවත් කීය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (6දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment