බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

564

බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබේ. නම් කර ඇති ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත අදාළ සංචිතය ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇතැයි ‘දිවයින’ට වාර්තා වේ.

 ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දිමුත් කාරණාරත්නට හිමිව ඇති අතර පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට තරගාවලියට අහිමි වී තිබේ. ඒ වෙනුවට පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිදුකරමින් රොෂේන් සිල්වා, ඕෂධ ප්‍රනාන්දු සහ කමිල් මිසාර සංචිතයට කැඳවා තිබේ. මීට අමතරව සුරංග ලක්මාල්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට වේග පන්දු යවන්නන් කිහිප දෙනකු කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිත සංචිතයට කැඳවා තිබේ.

 ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රමට අමතරව රමේෂ් මෙන්ඩිස්ද බංග්ලාදේශයට එරෙහි දඟ පන්දු බලඇණියට නම්කර තිබේ. මීට අමතරව දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක සුමින්ද ලක්ෂාන්ද සංචිතයට නම් කර තිබේ.

 කෙසේ වෙතත් නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න සහ චරිත් අසලංක බංග්ලාදේශ සංචිතයට නම්කර නොමැති අතර එම තරගාවලියට නම් නොකළ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

 ශ්‍රී ලංකාව කණ්ඩායම ලබන 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත අතර ලබන 15 වැනිදා දෙරට අතර පළමු ටෙස්ට් තරගය චිතගොං හිදී ආරම්භ වීමට නියමිතව තිබේ. දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලබන 27 වැනිදා ඩකා නුවරදී ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

 අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ටෙස්ට් තරගාවලි ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව එහිදී තරග 4කින් තරග දෙකක් පරාජයට පත්වී තරග 2ක් ජය ගැනීමට සමත්වී ඇති අතර බංග්ලාදේශය තරග 6කදී එක් තරගයක් පමණක් ජය ගනිමින් තරග 5ක් පරාජයට පත්වී තිබේ.

 ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment