බාල ප්‍රතිදේහ එන්නත් සිද්ධිය – වෛද්‍ය හේරත් ඇතුළු 7 ක් යළි 17 දා තෙක් රිමාන්ඩ්

135

මහ මොළකරුවන්ට පැනගන්න සීඅයිඩීය පාර හදනවා
සැකකරුවන්ගේ නීතිඥ චමින්ද අතුකෝරල

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එච්. බී. හේරත් මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනා ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (10 දා) නියෝග කළාය.

සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින ලබාදීමට ද මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය. සිය සේවාදායකයා කර ඇත්තේ එකී එන්නත් සැපයූ සැපයුම්කරුට ගිණුම් අංශයෙන් සිදුකළ ගෙවීම් අනුමත කිරීම පමණක් බවත් ගණකාධිකාරිවරයා හා ගිණුම් ලිපිකරුවන් සකස් කරන ගෙවීම් සම්බන්ධයෙන් වූ සෑම සියලු දෙයක්ම එකින් එක පරීක්‍ෂා කිරීමේ හැකියාවක් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුට නොමැති බවත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එච්. බී. හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා අධිකරණයට පැවසීය. විමර්ශන නිලධාරීන් සිදුකරනුයේ එකී සිද්ධියට සම්බන්ධ මහමොළකරුවන්ට එරෙහිව සාක්‍ෂි ලෙස යොදාගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මහමොළකරුවන්ට නීතියෙන් බේරී යෑමට අවශ්‍ය පරිසරය සකස් කිරීම වන්නේ යැයි ද එහිදී අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් සියලුම ඖෂධ සඳහා ගෙවිය යුතු මුදල් 2022 දෙසැම්බර් 31 වැනි දිනට පෙර ගෙවිය යුතු බවට කැබිනට් යෝජනාවක් මගින් නිර්දේශ කර තිබූ බව ද පැවසීය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන මුදලින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් හෝ දෙසැම්බර් 31 වැනි දිනට පෙර එම ගෙවීම් සිදු නොකළහොත් ඖෂධ සැපයුම්කරුවන්ට සියයට තුනක අධිභාරයක් ගෙවිය යුතු බවට එකී කැබිනට් යෝජනාව මගින් නිර්දේශ කර තිබූ බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා එහිදී මහෙස්ත්‍රාත්වරියට වැඩිදුරටත් පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment