අභියාචනාධිකරණ තීන්දුවට අනුව රවි ගැන තීරණයක් ගන්න – උසාවියෙන් නීතිපතිට නියෝග

129

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වා ගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (15) නීතිපතිවරයාට නියෝග කළේය.

අදාළ නඩුව ඊයේ දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බව ප්‍රකාශ කළේය. එම තීන්දුවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේය.

එය පරීක්ෂාවට ලක් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන විනිසුරුවරු අභියාචනාධිකරණය විසින් කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කර ඇති නිසා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බව ප්‍රකාශ කළහ.

අභියාචනාධිකරණය තීන්දුව පිරික්සීමේ දී කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යා නොහැකි ආකාරයක් පෙනී යන්නේ යැයි ද සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කර සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව කියා සිටියේය.

මෙම කරුණට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නඩුව අප්‍රේල් මස 27 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළ අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment