බුකිය රත්කරපු රඟහල විස්තරේ මෙන්න

493

ඔතැනට දාහක් පුරවන එක නතිං – ඉරාජ්

ප්‍රසංගය කැන්සල් – ටිකට් සල්ලි ආපසු දෙයි

සංවිධායකවරුන්ට මරණ තර්ජන

අද (28 වැනිදා) Wates Edge හෝටලයෙහි පැවැත්වීමට සංවිධානය කර තිබූ ‘රඟහල’ සංගීත ප්‍රසංගය කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල ආදී කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණි. එම ප්‍රසංගයේ ටිකට්පත් ලබා ගැනීමටද බොහෝ දෙනෙක් උනන්දුවී තිබුණි.

කෙසේ වෙතත් එම ප්‍රසංගයේ සංවිධායකවරු මුලින් පැවති එකඟතාවයට හා දැනුවත් කිරීම්වලට පටහැනිව ප්‍රසංගයේ කටයුතු සංවිධානය කරමින් සිටින බව සඳහන් කරමින් පසුගිය 20 වැනිදා තමන්ගේ මුහුණු පොත ඔස්සේ සටහන් තබමින් කසුන් කල්හාර හා උමාරා සිංහවංශ ප්‍රසංගයට සහභාගි නොවන බවට දන්වා තිබුණි. සමාජ මාධ්‍ය කැළඹෙන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

ඒ වන විටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගත් අයට සිදුවීම පැහැදිලි කිරීමට සහ ප්‍රසංගය නතර කිරීම පිළිබඳව සංවිධායකවරු සටහනක් තබා තිබුණි. ඉන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ නන් අයුරින් පෝස්ට් සංසරණය වීමට පටන් ගත්හ. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් රැසකින් පෙන්වාදී තිබුණේ ඉහත කලාකරුවන් මේ ආකාරයට ප්‍රසංගයෙන් ඉවත් වීමට තීරණය කිරීමට හේතු වූයේ එම ප්‍රසංගයේ විශේෂ ආරාධිත කලාකරුවා ලෙස ඉරාජ් වීරරත්නව ගෙන්වීමට සංවිධායකයන් තීරණය කිරීමත් සමග බවය.

කෙසේ වෙතත් කසුන් කල්හාර මෙන්ම උමාරා සිංහවංශද ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටු හරහා ඔවුන් තැබූ සටහනේ ඉරාජ් වීරරත්නගේ නම හෝ කිසිදු කලාකරුවකුගේ පැමිණීම නිසා මෙවන් තීරණයක් ගත් බවට සෘජුවම සඳහන් කර තිබුණේ නැති අතර කසුන් පවසා තිබුණේ ‘හෘද සාක්‍ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය දිය නොහැකි බවයි.

අවසානයේ අද පැවැත්වීමට නියමිතව තිබූ රඟහල අඳුරු විය. අන්තිමේ කථානායකයන් බවට පත්වූයේ ඉරාජ් වීරරත්න, කසුන් කල්හාර වගේම උමාරා සිංහවංශය. ඒ අතුරින් ඉදිරියෙන්ම කියැවුණේ ඉරාජ් වීරරත්නය. ඇත්තටම මොකක්ද මේ සිද්ධ වුණේ. ඉරාජ්ගෙන් ‘සිනමා කලා’ විමසුවා.

● ඇත්තටම ඉරාජ් රඟහල ප්‍රසංගයේ ඇත්තම කතාව මොකක්ද?

රඟහල ප්‍රසංගයට ඇත්තටම මට කතා කළේ මාස කිහිපයකට කලින්. තරුණ කොල්ලො ටිකක් ප්‍රසංගය සංවිධානය කරන්නේ. ඉතිං ඒ ගොල්ලො මට කතා කරලා කිව්වා ඔය අලුත් කලාවක් ප්‍රසංගය සාර්ථක වුණු හින්දා දැන් අලුත් අය හොයනව අලුත් කන්සෙප්ට්. සමහරු දැන් අලුත් කලාවක් ප්‍රසංගයේ නම වෙනස් කරගෙන යනවා.

ඉතිං මේ රඟහල ප්‍රසංගය සංවිධානය කරන පිරිසක් ඇහැව්වා ඔයාට පුළුවන්ද කසුන් කල්හාර, රොමේෂ් සුගතපාල, උමාරා සිංහවංශ වගේ ප්‍රසංගයට අලුත් දෙයක් එකතු කරන්න කියලා. ඕකට කලින් වේරලියද්ද සේනක බටගොඩත් එකතු කරගන්න හිටියේ.

මම ඇහැව්වා සම්පූර්ණ වෙනස්ම සංගීත ශෛලියෙන් පවා වෙනස්ම ප්‍රසංගයක් හින්දා කමක් නැත්ද කියලා. මොකක් හරි අලුත් දෙයක් මිනිස්සුන්ට ඕනෑ කියලා. මම කිව්වා මට ප්‍රශ්නයක් නැහැ එහෙනම් කරමු කියලා.

ඊට පස්සේ සංවිධායකවරු අනෙක් කලාකරුවන්ටත් මම එනවා කියලා දැනුවත් කරලා කසුන් කල්හාරවත් දැනුවත් කරලයි තිබුණේ. කසුන් කල්හාර කලින්ම දැනගෙන හිටියා මම එනවා කියලා. මට කිසිසේත්ම ඒක ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. හැම කලාකරුවෙකුටම මූලික ගෙවීමක් පවා කළා. අන්තිමේ ප්‍රසංගය ඇඩ්වර්ටයිස් කරන්න ගත්තා. මේකේදී කසුන් කල්හාරව මුලින් ඇඩ්වයිස් කළා. ඔහුට ආදරය කරන රසිකයෝ ප්‍රවේශ පත්‍ර අරගෙන තිබුණේ. ඊට පස්සේ මාව එනවුන්ස් කළා. මගේ සින්දු අහන අය වෙනම ටිකට් අරගෙන තිබුණා.

මෙතැනදී කසුන්ගේ ප්‍රවේශපත්‍ර ගත් රසිකයන්ගෙන් විරෝධයක් ආවා ඉරාජ් එනවා නම් එන්න බැහැ කියලා. ඊට පස්සේ මට සෝෂල් මීඩියාවලින් ගහන්න පටන් ගත්තා. මේක ටිකට් දාහක වගේ පොඩි ෂෝ එකක්.

ඊට කලින් සතියේ නෙළුම් කුලුන පහළ පැවත්වපු ෂෝ එකට දහතුන් දහසක් ආවා. ඉතිං මට ඔතන දාහක් පුරවන එක හරිම පොඩි දෙයක්. අකමැති අයගේ අය අයින් වුණත්. විශේෂයෙන් සමාජ මාධ්‍යවල මට කසුන්ට වගේම රඟහල ප්‍රසංගයට ගහන්න පටන් ගත්තා. ඉරාජ්ව අයින් කරන්න කියලා සංවිධායකවරුන්ට මරණ තර්ජනය පවා කරලා මටත් අයින් වෙන්න කියලා කෝල් කරලා මැසේජ් දාලා තියෙනවා. නමුත් මම අයින් වුණේ නැහැ. මොකද මට කසුන් එක්ක ප්‍රශ්නයක් නැහැනේ අයින් වෙන්න.

සංවිධායකවරු කසුන්ගෙන් කතා කරලා අහලා තිබුණා ඉරාජ් එන එක ප්‍රශ්නයක්ද කියලා. කසුන් කියලා තිබුණා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. සංවිධායකවරු ප්‍රශ්නයක් වුණොත් කියලා ඒ දුරකථන ඇමතුම පටිගත කරගෙනත් තිබෙනවා. ඊට පස්සේ තමයි කිසිදු දැනුම්දීමක් නැතිව මුහුණු පොතේ සටහනක් යොදලා තිබුණේ රඟහල ප්‍රසංගයට සහභාගි වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම උමාරාත් ඉවත් වෙනව කියලා සටහනක් දාලා තිබුණා. මම දන්නේ නැහැ එයාට අයින් වෙන්න තිබුණ හේතුව.

අන්තිමේ මේ ප්‍රසංගය හින්දා සංවිධායකවරුන්ට ලක්‍ෂ හතළිහක විතර පාඩුවක් සිද්ධ වුණා. අන්තිමේ අද තිබෙන ප්‍රසංගය නැවැත්වුවා. මේක මගේ ප්‍රසංගයක් නෙවෙයි මම සහභාගි වෙන අලුත් කලාවක් ප්‍රසංගයටත් පුදුම විදිහට සමාජ මාධ්‍යවලින් ගැහැව්වානේ. නමුත් සංවිධායකවරු ඒක නැවැත්වූවේ නැහැ.

මේ සංවිධායකවරු අහිංසක කොල්ලො ටිකක්. ඔවුන් සමාජයට බයයි. සමාජ විරෝධතාවයට බයේ තමයි ප්‍රසංගය පැවැත්තුවේ. මම ඒ ගොල්ලන්ට කිව්වා අපි කලාකරුවෝ මාරු කරලා හරි ප්‍රසංගය කරමු කියලා. මට එතැන ටිකට් දාහක් පුරවන එක නතිං. මම ලයිව් එකක් ගිහිල්ලා කිව්ව ගමන් මට ආදරය කරන අය එතැනට එනවා. සංවිධායකවරුන්ට ආපු මරණ තර්ජනත් එක්ක ඔවුන් බය වුණා. මේ කතා එළියට කියන එකකුත් නැහැ. අන්තිමේ සංවිධායකවරු පාඩුව දරාගෙන ප්‍රසංගයෙන් ඉවත් වුණා.

දැන් සමාජ ජාලාවල මේ ප්‍රශ්නය දිගටම ඇදගෙන යනවා. මම දැක්කා පේෂල හොඳ ලයිව් එකක් දාලා තියෙනවා. දැන් ඉස්සරහට ප්‍රසංගවලට සහභාගි වෙන්න දේශපාලන පක්‍ෂ බලලා වෙන්න පුළුවන් කියලා. මම කියන්නේ මේක හරි කැතැයි. දේශපාලනය අපේ එන්ටර් ට්‍රේට්මන්ට් ඉන්ඩස්ට්‍රී එකට ගෙන එන්න එපා.

රඟහල ප්‍රසංගයෙන් ඉවත්වුණ කසුන් කල්හාර සහ උමාරා සිංහවංශගෙන් අප මේ පිළිබඳව අදහස් විමසීමේදී ඔවුන් පැවසුවේ ඒ ගැන මාධ්‍යයට මේ වේලාවේ කථා නොකරන බවය.

● දිනේෂ් විතාන

බුකිය රත්කරපු රඟහල විස්තරේ මෙන්න

advertistmentadvertistment
advertistmentadvertistment