බුදු දහම, ආගම හා දර්ශනය නිවැරදිව තේරුම් ගැනීම

231

බුදු දහම ආගමක්ද, දර්ශනයක්ද යන්නට පිළිතුරු සැපයීම මෙහිදී අපේක්‍ෂා නොකෙරේ. එමෙන්ම බුදු දහම ආගම ඔස්සේ කියවීමටත්, ආගම ඔස්සේ දර්ශනය කියවීමටත්, දර්ශනය ඔස්සේ ආගම කියවීමටත් අසාර්ථක උත්සාහයක නොයෙදෙමි. මේ සංකල්පය පිළිබඳ තුළනාත්මකව යම් අදහසක් දැක්වීමක් පමණක් මධ්‍යස්ථ මතධාරීව සිදු කිරීමේ ප්‍රයත්නයක නියැලෙමි. එහි සාධාරණ අසාධාරණභාවය පිළිබඳ විනිශ්චය පාඨක ඔබ සතුය.

පුද්ගලයා අවිද්‍යාව කෙරෙන් විද්‍යාව කරා ගමන් ගත යුතු එකී ගමන උදෙසා පුද්ගලයා විසින් ප්‍රගුණ කළ යුතු ගුණධර්ම පද්ධතියක් බුදු දහම නිර්දේශ කරයි. එකී ගුණ ධර්ම පද්ධතියේ ප්‍රගුණත්වය තුළ පුද්ගලයා බුදු දහම හා ඒකාත්මික වේ. යථාර්ථය පිළිබඳ අවබෝධයෙන් තොරව පුද්ගලයා ගත කරන ජීවිතය බන්ධනයක් බවත්, ඒ බන්ධනයෙන් නිදහස් වීම විමුක්තිය බවත් බුදු දහම පෙන්වා දෙයි. මරණයෙන් මතු නොව මේ ජීවිතයේ දීම නොපසුබස්නා වීර්යයෙන් හෙවත් අප්‍රතිහත ධෛර්යයෙන් විමුක්තිය අධිගමනය කළ හැකිය. සාක්ෂාත් කළ හැකිය. බුද්ධාදී උතුමෝ එසේ කර ඇත. බාහිර පාර්ශවයකින් විමුක්තිය ලද නොහැකිය. තමා තමා තුළින් සාක්ෂාත් කළ යුතුය. අලගද්දුපම සූත්‍රයේ පෙන්වා දෙන පරිදි බුදු දහම වනාහි ගඟකින් එතෙර කරවන පහුරක් බඳුය. ප්‍රඥා සම්ප්‍රාප්තිය පිණිස ඉවහල් වන ඉනිමඟක් බඳුය. එය බුදු දහමේ සුවිශේෂත්වයයි.

බුදුහූ මාර්ගෝපදේශකයෙකි. දහම වනාහි මාර්ගෝපදේශයයි. එම මාර්ගෝපදේශකයාගේ මාර්ගෝපදේශය යටතේ ආර්ය මාර්ග අංග පිළිවෙළින් ක්‍රමානුකූලව ප්‍රගුණ කළ යුතුය. බලා නොසලකා හරින මාර්ග සංඥා ලෙසවත්, පසුකළ යුතු සැතපුම් කණු ලෙසවත් නොසැලකිය යුතුය. ආමිසය තුළ හෝ නිරාමිසය තුළ විමුක්තිය අර්ථවත් නොවේ. චිත්ත විසුද්ධිය හා ප්‍රඥා සම්පත්තිය තුළ විමුක්තිය අර්ථවත් වේ. බුදු දහම හුදු බුද්ධිවාදයක් ද නොවේ. භෞතිකවාදයක් ද නොවේ. අවිද්‍යාව දුරු කරන පටිසෝතගාමී ප්‍රතිපදාවකි. ඇතැම් වියතුන්ගේ අර්ථ දැක්වීම් අනුව බුදු දහම ශෛලිගත වර්ණ ධර්ම පද්ධතියක්ද නොවන බව දක්වයි. කොටින්ම අවිද්‍යාවෙන් සිටිනා මිනිසුන් කරනු ලබන පර්යේෂණ විද්‍යාව හෙයින් බුදු දහම විද්‍යාවක් ද නොවේ.

ආගම වනාහි භක්තිය මුල් කොට ගෙන පූජා විධි හා චරණ ධර්ම පද්ධතියක් මගින් පාලනය ගෙන යාමකි. සිත කය වචනයෙන් වන ක්‍රියාවන් අධිපතිත්වයේ තබන ලද පුද්ගල භක්තිය හා ශ්‍රද්ධාව තුළින් ජීවය ලබන, ජීවිතය හා මරණය නිසා ඇතිවන බිය නඩත්තු කරන, අවිද්‍යාව නිසාම රැකවරණයක් සොයන යැපුම් මානසික චින්තනයකි. බොහෝ විට කුසලාකුසල සංකල්පයෙන් වියුක්තව පිං – පව් සංකල්පය ක්‍රියාවට නංවයි. යැපුම් මානසිකත්වයෙන් යුත් පරාධීන පුද්ගලයා බාහිර බලයකින් විමුක්තිය අපේක්‍ෂා කරයි. එමෙන්ම ආගම සිද්ධාන්ත පද්ධතියකට හිමිකම් කියයි. විශේෂයෙන්ම ආගමක් මගින් අතරමැදි පිරිසක් ලෙස පූජක සමාජය නිර්මාණය කරයි. වරප්‍රසාද ලත් ක්‍රමයක් ලෙස ඇතැම් විට සම්භාවනාවට පාත්‍ර වන මෙම පිරිස අත්හැරීම නමැති සංකල්පය අල්ලා ගැනීම උදෙසා නිර්මාණය කර දෙනු ලබයි. සංස්කෘතිකමය වටපිටාවක් නිර්මාණය කරමින් ඒ තුළ විවිධ උප සංස්කෘතීන් නිර්මාණය කරනු ලබයි.

භක්තිවන්ත දෘෂ්ටි කෝණයක සිට බැතිමතුන් ලෙස විවිධ පූජා විධි හා චරණ ධර්ම පද්ධතියක් මගින් පාලනය වන පසුබිමක් ආගමක් තුළ පවතී. හුදෙක් අවබෝධයට වඩා යැදුම් පැතුම් ඇදහීම් මත පදනම් වේ. සත්‍ය නම් එය වඩාත් පහසු නිසා ආගම දර්ශනයට වඩා ඉතා ජනප්‍රිය සහ ජන කාන්තය. විශේෂයෙන් නොවියත් ජන අවශ්‍යතා සපුරාලීම කෙරෙහි ආගම සුපිරි දක්ෂයෙකි. නායකත්වයක් හා අනුගාමිකත්වයක් ආගම තුළ අර්ථවත් වන අතර සෙස්සෝ ද බොහෝ කොට ඊට “එහෙයි” න්‍යායෙන් අනුගත වෙති. ජීවන යාත්‍රාව හුදු වන්දනාවක් ලෙස සලකා අනුගත වෙති. ජීවන යාත්‍රාව හුදු වන්දනාවක් ලෙස සලකන ආගම පුද්ගලයාගේ දීර්ඝ කාලීන ප්‍රයෝජනයට විමුක්තිය මාර්ගයක් ලෙස ද පෙන්වා දෙයි. නමුත් එය වහ වහා අවබෝධයෙන් දත යුතු සත්‍යයක්ය යන්න නිලීනව පවත්වා ගනී. අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස අන්‍යයාර්ථ ගෙන හැර පාමින් තාවකාලික පැලැස්තර ඇලවීමක් ආගමක් තුළ දකිත හැකිය.

දර්ශනය අර්ථවත් වන්නේ විචාරය තුළයි. භාෂාව හා තර්කය මාධ්‍ය කොට ඇති, විචාර බුද්ධිය පෙරටු කොට ඇති, දැනීමට අරමුණුවන සියල්ල විෂය කොට ඇති, පරාධීන නොවන චින්තනයක් දර්ශනය තුළ අර්ථ ගැන්වේ. එනම් අපරාධීන චින්තනයකි. සිද්ධාන්ත වශයෙන් ගත හැකි හෝ ගත යුතු කිසිවක් දර්ශනයක ඇතුළත් නොවේ. එනම් ඒකායන ක්‍රියාවකින් තොරව යම් විචාර ධාරාවක් ඔස්සේ දර්ශනය ප්‍රභාමත් වේ. දාර්ශනිකයා හා චින්තකයාද සමාන නොවේ. දර්ශනය තුළ යම් විද්‍යාවක් ඇති නමුත් නව යොසා ගැනීම් නොමැත. පෙර දැනුම හා පසු දැනුම හෙවත් නව දැනුමද විචාරයට ලක් කරයි. චින්තනයේදී නව සොයාගැනීම් හා නව මූලධර්ම ගොඩ නගා සාම්ප්‍රදායික දැනුම බැහැර කරයි. ඇතැම් විටක වෙනස් කරයි.

නායකයෙකු, ගුරුකොටගත්තකු හෝ දේවත්වයෙන් සලකන්නකු නැත. අනුගගත වීමට හෝ අවනත වීමට නියමයක් නියෝගයක් නොමැත. දෛනික ජීවිතයේ සමාජගත පුද්ගලයාට සෘජුවම අදාල නොවන, කිසි විටෙක නිශ්චිත පිළිතුරු අපේක්‍ෂා නොකළ හැකි ප්‍රශ්න ගැටළු පිළිබඳව නිබඳව විචාර පූර්වක වීම දර්ශනයේ විශේෂ කාර්යයයි. එපමණක් නොව දාර්ශනික ගැටළු උදෙසා ලබා දෙන ලද දාර්ශනික පිළිතුරු නැවත ප්‍රශ්න කිරීමට හැකිවීම ද දර්ශනයේ විශේෂත්වයකි. චිත්ත සන්තානයන්හි බැදී ඇති මලකඩ කඩා දමමින් විශ්ලේශී හා සංස්ලේශී චින්තන ක්‍රම උපයෝගී කර ගැනීම දර්ශනයක් තුළ නිරතුරුව සිදු වේ.

බුදුහූ දෙසැටත් මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන ලද්දේ හැට තුන් වන අදහසක බැඳ තැබීමට නොවන බව අප අවබෝධ කරගත යුතුය. එක් අයෙකුට තවකෙක් විමුක්තිමත් කළ නොහැක. තමා පිළිබඳ නිබඳ අවදිකමකින් යුතුව මධ්‍යම ප්‍රතිපදාවේ යෙදිය යුතුය. ඒ උදෙසා පරාධීන චින්තනයෙන් වියුක්ත විය යුතුය. බුදු දහමේ විමුක්ති සාධනය විදේශ පාලකයින්ගෙන් යටත් විජිත සමාජයක් ලබන හුදු දේශපාලනමය විමුක්තියක් නොවේ. විමුක්ත පුද්ගලයා පමණක් නිශ්චලය. නමුත් අප විදින දකින ලෝකය චංචලය. අවිද්‍යා සහගත අප විසින් ගනු ලබන නිගමන නිශ්චලය. චංචල ලෝකයක නිශ්චල නිගමනවලට එළඹීම විචාර බුද්ධියෙන් සමුගැනීමක් නොවන්නේද?

● එස්. ඒ. එස්. චතුරිකා
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය,
බෞද්ධ අධ්‍යයන පීඨය.

advertistmentadvertistment
advertistmentadvertistment