බොරු චෝදනා නඟා වැඩ තහනම් කරලා – කොස්තාපල්ට ලක්‍ෂ 20ක් ගෙවන්න පොලිස් ලොක්කන් 4කට නියෝග

689

සිව් දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණ කරන්නැයි පොලිසියට කියයි

මත්පැන් පානය කර රාජකාරි කළ බවට අසත්‍ය චෝදනා නඟා අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් පොලිස් කොස්තාපල්වරයකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්‍ෂ 20ක වන්දියක් ගෙවන ලෙස අම්බලන්ගොඩ කොට්ඨාසය භාරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා, කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකුට නියෝග කළේය.

එකී වන්දි මුදල් එම පොලිස් නිලධාරීන් සිව් දෙනා ඔවුන්ගේ පෞද්ගලික මුදලින් මාස හයක් ඇතුළත ගෙවිය යුතු බවටත් නියෝග කළ ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල එම පොලිස් නිලධාරීන් සිව් දෙනාට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසටද ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව කටයුතු කර ඇත්තේ ඉතා අත්තනෝමතික ආකාරයෙන් හා පදනම් විරහිත චෝදනා නඟමින් වන්නේ යැයිද කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සකස් කොට අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනාගේ එකඟත්වය ඇතිව නිකුත් කළ එම තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මංගල ද සොයිසා අමරසේකර, පොලිස් පරීක්‍ෂක අසේල ප්‍රේමනාත් ද සිල්වා, පොලිස් සැරයන් (9476) වික්‍රම ඩිලාන්, ඉන්දික ද සිල්වා හා සහකාර පොලිස් අධිකාරි යූ. එම්. අමරසිරි යන සිව්දෙනාට එලෙස වන්දි ගෙවීමට නියම කෙරිණි.

2021.11.02 වැනිදා 11.00 ට පමණ පෙත්සම්කාර පී.ඩී.ඒ. පනාපිටිය පොලිස් ස්ථානය තුළ සිටියදී ඔහු ඉදිරියට පැමිණි පළමුවන වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා ‘මල්ලි උඹ මෙහෙ අවිත් දැඟලුවා වැඩියි, බලාගනින් උඹට මොකද වෙන්නේ කියලා. උඹේ ජොබ් එකට කෙළිනවා’ යැයි පවසා ඇති බවත් එකී තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

ඉන්පසුව හතරවන වගඋත්තරකාර සහකාර පොලිස් අධිකාරිවරයා පෙත්සම්කාර පොලිස් නිලධාරියාට ‘ආ… තෝද මිනිහා, ඉඳපන් මම උඹට කෙලෝලා ගන්නම්, තොගෙ ජොබ් එකට මං කෙළිනවා. තො හිරේ තමයි යවන්නේ කියා බැණ වැදී ඇතැයිද එම තීන්දුව මගින් පෙන්වාදී තිබිණි. නීතිඥ භාග්‍යා පීරිස් මහත්මිය සමග නීතිඥ ගීත් කරුණාරත්න පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරා වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අනුපා ද සිල්වා මහත්මිය වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment