පියා සහ සොහොයුරා පහරදීමෙන් එක්දරු පියා මරුට

396

බුරුත පොල්ලකින් සහ උදලු මිටකින් පහර දුන්නා – බිරිඳ කියයි

තාත්තා සහ අයියා එකතු වී ගේ ඇතුලේ සිටි මල්ලීට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් මැදවච්චිය, කනදරා දිවුල්වැව ගම්මානයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි එම නිවසේම පදිංචි එක්දරු පියෙකි.

මෙම ඝාතනය සිදුකළ පියා ට්‍රැක්ටර් කාර්මික ශිල්පියෙක් වන අතර ඝාතනය සිදුකළ වැඩිමහල් සොහොයුරා පැවිදි වී සිට සිවුර හැරවිත්, පෙදරේරු රැකියාවක් සිදු කරන 28 හැවිරිදි අයෙකි. පෙරේදා (14 දා) රාත්‍රී 10.45ට පමණ පෞද්ගලික ගැටලුවක් මුල් කරගනිමින් මෙම මියගිය පුතා සහ වැඩිමහල් සොහොයුරාත්, පියාත් අතර බහින් බස්වීමක් සිදුව ඇත. මියගිය පුද්ගලයාගේ උපන් දිනයද පෙරේදා දිනට යෙදී තිබුණ අතර මිතුරන් සමග එම සාදයත් පවත්වා මෙම මියගිය පුද්ගලයා නිවසට පැමිණ ඇත. අනතුරුව පියාත් සමග ඇති කරගත් බහින් බස්වීම දුරදිග ගොස් අයියා සහ පියා එකතු වී තම සැමියාව ඇඳේ තිබූ බුරුත පොල්ලකින් සහ උදලු මිටකින් ගසා ගේ ඇතුළේදීම ඝාතනය කළ බව මියගිය පුද්ගලයාගේ බිරිඳ මැදවච්චිය පොලිසියට පවසා ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් පෙරේදා රාත්‍රියේම කටයුතු කර ඇත. සැකකරුවන් පිළිබඳව වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරයි.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment