අද අප යළි සොයන්නේ මිහිඳු මාහිමි කියාදුන් අවිහිංසාවාදී සමාජය නොවේද?

162

බුදුන් පහළවීම දඹදිව් තලයට කොයිතාක් වැදගත් වන්නේ ද එයටත් වඩා මහින්දාගමනය සිරිලකට වැදගත් වන්නේය. අද අප මෙම දේශයේ සිට අත්විඳින ධර්මාවබෝධය, ශික්ෂණය, ඓතිහාසික උරුමය, කාන්තා නිදහස, ආදී ලෞකික පාරලෞකික සියලු යහගුණ ධර්මයන් මිහිඳු මාහිමියන්ගේ පැමිණීමෙන් ලද දායාදයන් ය. උන්වහන්සේ මෙරටට ගෙන ආවේ බුදුදහම පමණක් නොව එවකට ඉන්දියාවේ පැවැති මෞර්ය ශිෂ්ටාචාරයද ගෙන ආහ.

පුද්ගලයෙක්, සමාජයක්, රටක් ලෝකයක් නිරවුල්ව පවත්වා ගෙන යෑමට තෙරුවන් හා පංචශීලය මහත් පිටිවහලක් වේ. පන්සිල් නොරැඳෙන තැන යහපත් සාමකාමී සමාජයක් නිර්මාණය නොවේ. මෙය වටහාගත් මිහිඳු මහරහතන් වහන්සේ පළමුව සිදු කළේ තමන් වහන්සේ හා සෙසු පිරිස හඳුන්වා දී දෙවනපෑතිස් රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවීමයි. තමන් උපමා කොට අන් සතට තාඩන, පීඩන, මරණ බිය වැද්දීම් නොකළ යුතු යැයි දෙසූහ.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
නහන්‍යෙ නසාතයෝ

අවිහිංසාවේ වැදගත්කම මින් අවබෝධ වූ පසු රජු හා පිරිස අතර දුනු ඊතල නොදැනුවත්ම ගිලිහී ගියේ බුදු වදනේ ශාන්ත වූ ශක්තිය නිසයි.
අන්සතු නුදුන් දෙය සොර සිතින් ගැනීම සොර සිතින් ගැනීම සොරකමයි. සොරකමට මූලික හේතුව වන්නේ දුප්පත්කමය. දුප්පත්කම පහව ගිය කල සොර සතුරන් ඇති නොවේ. රටක් තුළ සමාජයක් තුළ පවතින අපරාධ, දූෂණ, වංචා, අල්ලස් වැනි පහත් ක්‍රියාවන් නීතියෙන් දඬුවම් පැමිණවීමෙන් පමණක් කළ නොහැක්කක-ි රාජ්‍ය නායකයන් පාලකයන් ඒ සඳහා සිහි නුවණින් ක්‍රියා කළ යුතු ආකාරය දීඝ නිකායේ, කූටදත්ත සූත්‍රයේ පෙන්වා දී ඇත්තේ මෙසේය.

1- ඔවුන් කෘෂිකර්මයෙහි ගව පාලනයෙහි යෙදවීම පිණිස බිත්තර වී ආදී මූලික ධනය දිය යුතුය.
2-ඔවුන් වෙළඳාමෙහි යෙදවීම සඳහා පාරිතෝෂික දීමනාවක් කළ යුතුය.
3-රාජකාරියෙහි යෙදෙන අය එහි යොදවා සුදුසු කල්හි බත්, වැටුප් දිය යුතුය.

මෙසේ කළ කල්හි ඒ අපරාධකරුවන් තමනට අයිති රැකීරක්ෂාවල යෙදෙති. මේ නිසා ඔවුන් අපරාධවලට නොපෙළඹෙති. සෙසු ජනයා බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වෙති. තම අඹුවගෙන් සෑහීමකට පත් නොවී අන් අඹුවන් කරා යෑම කාමයේ වරදවා හැසිරීමයි. පවුල් සංස්ථාව ගරා වැටීමට මෙය මූලික හේතුවකි. අඹුදරුවන් අතර කලකෝලාහල නිතර ඇතිවේ. සමාජයෙන් ලැබෙන අවමාන බොහෝය.

අඹුසැමි සම්බන්ධතාව නිරවුල්ව ගොඩනඟා ගැනීම සඳහා බුදු දහමෙන් ලැබෙන අනුබලය ඉතා වැදගත් වේ. සිඟාලෝවාද සූත්‍ර ඒ සඳහා අපට මනා පිටිවහලක් ලබාදෙයි. එය මෙසේය.

සැමියාගේ යුතුකම්

  1. බුහුමන් කිරීම්
  2. අවමන් නොකිරීම
  3. අන් අඹුවන් සේවනය නොකිරීම
  4. සැප සම්පත් දීම
    5.අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීම

භාර්යාවගේ යුතුකම්

  1. හොඳින් කටයුතු පිළියෙල කරයි
  2. පරිවාර ජනයාට හොඳින් සංග්‍රහ කරයි
  3. පරපුරුෂයන් සේවනය නොකරයි
  4. සැමියා රැස්කළ වස්තුව ආරක්ෂා කරයි
  5. අලස නැතුව සියලු කටයුතු වල යෙදෙයි

මේ යුතුකම් ඔවුනොවුන් මනාව අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නම් ඒ යුවළ දෙවි යුවළකි. පවුල දෙවි විමනකි.

අද සමාජය තුළ බොරුව රජ කරන බවත් පෙනේ. සමාජය තුළ බොරු නොකියන කෙනෙක් සොයා ගැනීම පවා අසීරු කරුණකි. බොරු කියන්නාට සමාජය තුළ කළ නොහැක්කක් නැත. බොරු කියන්නා පමණක් නොව ඔහුගේ මුළු පවුලම සමාජයේ ඉමහත් අප්‍රසාදයට පත්වේ. චේතිය රජු රජ සැපතින් පිරිහී ගියේ බොරුවේ ඇති බලවත් වැරැද්ද නිසාය.

සිඟාලෝවාද සූත්‍රයේ සම්පත් විනාශ වන දොරටු හයක් ඇති බව පෙන්වා දී එහි මුලට ම සඳහන් වන්නේ සම්පත් විනාශයට හේතුවන මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කිරීමයි. අද බොහෝ දෙනෙක් තමන් දුක්සේ උපයා ගන්නා මිල මුදල් මෙවන් කටයුතු සඳහා යොදවමින් තම ජීවිතයත් අහිංසක දරු පැටවුණුන් මහමගට බස්වන කටයුතු යොදා ගනී. පවුල් පිටින් අනාථ වූ මෙවන් පිරිස් අද සමාජයේ කොතෙකුත් දැකිය හැක. මුදල් දී විෂ වර්ග ගෙන පානය කර බොහෝ දෙනෙක් සුව කළ නොහැකි ලෙඩ රෝග හදාගනී. මෙවන් පුද්ගලයන්ගෙන් ඇතිවන දූ දරුවන් අංගවිකල ලෙඩරෝග වලින් යුක්ත දරුවෝ වෙති.

පන්සිල් රකින මිනිසුන් ඇත්නම් එවන් සමාජය යහපත් වේ. එහි අපරාධ නැත. සොරකම් නැත. ගැටුම් කෝලාහල නැත. ලේ සෙලවීම් නැත. බැණ අඬ ගැසීම් නැත. එක මවකගේ දරුවන් සේ සාමදානයෙන් හා මෛත්‍රියෙන් ජීවත් වෙති. කලට වැසි වැසීමෙන් ශෂ්‍ය පාළු නොවේ. රජුන් වැසියන් දැහැමි වේ.

සීලයෙහි මූලික හර පද්ධතියයක් වන පංච ශීලයෙහි පිහිටි අපේ පැරැන්නන් රජ දරුවන් කුසලයට නැඹුරු වී කටයුතු කර ඇත. ධර්ම සාකච්ඡා හා ධර්ම දේශනාවල ඔවුන් දැක්වූයේ ඉමහත් අභිරුචියකි.

බුද්ධදාස රජුගේ පුත්‍ර උපතිස්ස, සද්ධාතිස්ස ආදී රජවරුන් පෝදිනවල සිල් සමාදන්ව පොදු ජනයා සමඟ තුන්බෝ පිහිටි ආගමික ස්ථානයන්හි කල් ගෙවූ බව වංශ කථා වලින් පැහැදිලි වේ. කාල බුද්ධරක්ඛිත හිමි මිහින්තලේ කළුදිය පොකුණ අසල දහම් දෙසද්දී සද්ධාතිස්ස රජු රැය පහන් වන තුරුම හිටි වන සිට දෙසුම ශ්‍රවණය කර ඇත. දස රාජධර්ම, සතර සංග්‍රහ වස්තු බෞද්ධ රාජ්‍යයක් ගොඩ ගොඩනැගීමට ඉවහල් වන බව මිහිඳු හිමි දෙසූ බැවින් රටේ ඇතැම් රජවරු දැහැමි පිළිවෙතක් අනුගමනය කර ඇත.

ඇතැම් රජදරුවන් ජනතාව සමඟ සුහදශීලීව කටයුතු කළ නිසා රටේ ආර්ථික වර්ධනය විය. සමගි සම්පන්නව කටයුතු කිරීම නිසා ඔවුන්ගේ ශ්‍රමයෙන් මහමුහුද පරයන වැව්, ඇළ දොළ, ගංගා, කෙත්වතු, උයන්වතු සකස් වී බත බුලතින් මුළු රටම ස්වයංපෝෂිත වී ධාන්‍යාගාරයක් බවට පත් විය. ආර්ථිකය සවිමත් වීමත් සමග අනිත් පැත්තෙන් එනම් “හෙළ කලාව” අතින් ලොව මවිත කරන සමාධි පිළිමය, සඳකඩපහණ, අව්කන වැනි කලා කෘති රාශියක් බිහිවිය.

මේ හැම දෙයකම ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි වූයේ යහපත් අධ්‍යාපන රටාව නිසයි. නොයෙක් ස්ථානවල පිරිවෙන් ඇතිවිය. මේ නිසා අධ්‍යාපනය ලැබීමට මග පෑදුනි. එදා ථෙරවාදී බුදු දහමේ බලකොටුව වූයේ මහා විහාරයයි. මෙයින් දැල්වුන ශාස්ත්‍රාලෝකය ලොව අස්සක් මුල්ලක් නෑර විහිදී ගියේය. මෙහි මහා ඇදුරාණන් වූයේ අනුබුදු මිහිඳු මාහිමියන්ය.

මෙම පිරිවෙන් මුල් කරගෙන භාෂාව, සාහිත්‍යය දියුණු විය. බුද්ධඝෝෂ වැනි අටුවාචාරීන් වහන්සේලාගෙන් හෙළ සාහිත්‍යයට වූ සේවය ඉතිහාසය පුරා විහිදී ඇත.

ලෞකික වශයෙන් ඔවුහු දියුණු වෙත්ම ලෝකෝත්තර වශයෙන් මිහිඳු මාහිමි නිසාම මෙරට ඇතිවූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසගේ මැදිහත් වීමෙන් සරාගී ජීවිතයෙන් අතමිදී සත්‍යාවබෝධය සඳහන් විරාගී දර්ශනයට බොහෝ දෙනෙක් නැඹුරු වූහ.

අධිපාරිභෝගික, අධි සංකීර්ණ, කාර්ය බහුල, තෘෂ්ණාවෙන් වෙළුණු හා ඒ වෙනුවෙන් විඩාබර සමාජයක හෙම්බත්වී සිටින අප මිහිඳු මාහිමියන් පසක් කළ යථාර්ථවාදී සමාජය නැවත සොයාගත යුතුව ඇත. අධිපාරිභෝගික, අධි සංකීර්ණ, කාර්ය බහුල, තෘෂ්ණාවෙන් වෙළුණු හා ඒ වෙනුවෙන් විඩාබර සමාජයක හෙම්බත්වී සිටින අප මිහිඳු මාහිමියන් පසක් කළ යථාර්ථවාදී සමාජය නැවත සොයාගත යුතුවම ඇත. පොසොන් සතිය මෙම යථාර්ථය හඳුනාගන්නට සැමට සුබම කාලයක් වේවායි පතමි.

අද අප යළි සොයන්නේ මිහිඳු මාහිමි කියාදුන් අවිහිංසාවාදී සමාජය නොවේද?

● අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරී සහ

උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝානායක

රැළපනාවේ ධම්මජෝති නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment