නීතිපතිට නොකියා හරක්කටා එළියට ගෙනියන්න එපා, ඉන්න තැන වෙනස් කරන්නත් එපා – අභියාචනාධිකරණයෙන් සී අයි ඩීයට නියෝග

291

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයකු හා හෙරොයින් ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා තම අධිකරණයට, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමකින් තොරව මේ වනවිට රඳවා සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන යෑම හෝ ඔහු රඳවා සිටින ස්ථානය වෙනස් කිරීමක් සිදු නොකරන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (15දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

තමා පිටතට ගෙන ගොස් ඝාතනය කිරීමේ වෑයමක් ඇති බවත් එබැවින් පිටතට රැගෙන යෑම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා නඳුන් චින්තක වික්‍රමරත්න විසින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙන තුරු එකී නියෝගය බලපැවැත්විය යුතු බවට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය. එම පෙත්සම් සම්බන්ධයෙන් විභාගය ලබන 25 වැනිදා දක්වා කල් දැමීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ. නීතිඥ සේනානි දයාරත්න, නීතිඥ සංජය ආරියදාස සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාදි වික්‍රමසිංහ මහත්මිය පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment