මගේ පුතා කිසිම ලෙඩක් නැති දරුවෙක්,  ඒ වගේ දරුවෙක් එකපාරටම  නැති වුණේ කොහොමද? – පියා හඬමින් කියයි

195

බණ්ඩාරගම ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා, සබරගමුව විශ්වවිද්‍යාලයට සරසවි වරම් ලැබ එහි අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අභිරහස් ලෙස මියගිය එම විශ්වවිද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායක හර්ෂ ධනංජය සිසුවාගේ දේහය ඔහු පදිංචිව සිටි පරගස්තොට පැල්පොල ආචාරි ගොඩ ඉකුත් 22 දින නිවස වෙත රැගෙන එන ලදී.

වසර හතරක කාලයක් පුරා සබරගමු සරසවියේ අනෙකුත් සිසුන් අතර “ටුඩා” යන ආදර නාමයෙන් හැඳින්වූ ලසන්ත හර්ෂ ධනංජය සිසුවා තවත් මාස දෙකකින් පමණ උපාධිය ලැබීමට සුදුසුකම් සපුරා තිබූ අතර ඒ නිමිත්තෙන් සමූහ ඡායාරූපයකට ඔහු පෙනී සිටීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.

මගේ පුතා කිසිම ලෙඩක් නැති දරුවෙක්,  ඒ වගේ දරුවෙක් එකපාරටම  නැති වුණේ කොහොමද? - පියා හඬමින් කියයි

ඉකුත් සතියේ දින කීපයක් නිවසේ රැඳී සිට මිය යෑමට දිනකට කලින් සරසවිය වෙත ගොස් අනෙකුත් සිසුන් සමග ගත කර එදින රාත්‍රී නේවාසිකාගාරයේ නින්දට ගොස් සිටි හර්ෂ සිසුවා තම දෙමව්පියන්, එකම සහෝදරිය මෙන්ම ඥාති හිතවතුන් සහ මිතුරු මිතුරියන්ට කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි අයුරින් මෙලොව හැර ගොස් තිබුණේ ඔවුන්ගේ හදවත්වලට සදාකාලිකව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

වසර හතරකට ආසන්න කාලයක් විනෝදයෙන් ගත කළ සරසවියේ එකට අධ්‍යාපනය ලද මිතුරන්ගේ කර මතින් පෙරේදා අලුයම් කාලයේ ලසන්ත හර්ෂ ධනංජය සිසුවාගේ නිසල සිරුර ඔහුට වසර විසිපහක කාලයක් සෙවණ දුන් පැල්පොල නිවස වෙත රැගෙන එන අවස්ථාවේ දී මව පියා සහෝදරිය ඇතුළු හිතවතුන් ගේ ශෝකාකූල විලාපය ප්‍රදේශය පුරා රැව් පිළි රැව් දෙන්නට විය.

හර්ෂ වසර ගණනාවක් පුරා කබඩි ක්‍රීඩාවෙන් දැක්වූ දස්කම් උදෙසා ඔහු වෙත පිදුනු පදක්කම් සහ කුසලාන රැසක් නිසල සිරුර අසලම ප්‍රදර්ශනය කර තිබිණි.

යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයකු වන කේ. ඩී. සුනිල් ශාන්ත සහ මුදිතා ශ්‍රියාමාලි යුවළගේ කුරුලු කැදැල්ලට අදින් වසර විසිපහකට පෙර හා හා පුරා එකතු වූ ධනංජය පුතු ට මෙවන් වූ විපතක් සිදුවෙයි කියා ඔවුන් දෙපළ සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

තම පුතුගේ නිසල සිරුර නිවසට රැගෙන ආ අවස්ථාවේ සිට ඒ දෙස බලමින් ‘අනේ කතා කරන්න මගේ පුතේ කතා කරන්න’ අපිව දාලා ගියාද රත්තරනේ, අනේ මගේ රන් කඳ හිනා වෙලා ඉන්නවා, යැයි විලාප දෙමින් මව හඬ හඬා වැටෙන්නට වූයේ ධනංජය ගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අයගෙන් නෙත් වලට ද කඳුළු එක් කරමිනි.

තම එකම පුතු ගේ හදිසි වියෝවෙන් මහත් කම්පනයට පත් කේ. ඩී. සුනිල් ශාන්ත මහතා හඬා වැටෙමින් මෙසේ පැවසීය.

මගේ පුතා කිසිම ලෙඩක් නැති දරුවෙක්, ඒ වගේ දරුවෙක් එකපාරටම නැති වුණේ කොහොමද? ඒවා රජයේ වෛද්‍යවරු සාකච්ඡා කරලා මොකක්ද කියලා සොයා බලන්න ඕනා.

මගේ දරුවා නැතිවුණා. මං මේ වෙලාවේ කියන්නේ අනෙක් දරුවන් ගැන හිතලා. කිසිම දෙමව්පියන්ට මේවගේ දුකක් නොවෙන්න ඕනේ.

අද වන විට තරුණ දරුවෝ අකාලයේ මිය යනවා වැඩියි. නැවත නැවතත් කියන්නේ වෛද්‍යවරුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් දැඩිව යොමු කරන්න කියලා.

ලසන්ත හර්ෂ ධනංජය  සිසුවා ගේ දේහයට පැවැති මහා වර්ෂාව නොතකා දහස් ගණනින් අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අතර අවසන් කටයුතු ඊයේ (23දා) පැල්පොල පොදු සුසාන භූමියේ දී දහස් ගණනකගේ සෝ සුසුම් මැද සිදු කෙරිණි.

කැස්බෑව – බිමල් ජයසිංහ

මරණය ගැන විවෘත තීන්දුවක්


බළන්ගොඩ එන්.එච්. පියසේන

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අවසන් වසර අවසන් සමාසිකයේ සිසුවෙකු වූ හර්ෂ ධනංජය (25) නමැති අය ඉකුත් (20දා) වැනි දින සිසු නේවාසිකාගාරයේදී නින්දට ගිය අතර පසුදා උදෑසන මොහු අවදි නොවීම ගැන සොයා බැලීමේ දී මරණයට පත්ව සිටි බව සමනල වැව පොලිසිය සඳහන් කළේය. මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂණය සිදු කළ බළන්ගොඩ මහෙස්ත්‍රාත් බී. කේ. වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය මේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයේ දී ප්‍රකාශයක් ලබා දුන් මෙම විශ්වවිද්‍යාලයේ යූ. කේ. දිනූක දිල්ෂාන් සිසුවා මෙසේ පැවසීය.

“මෙසේ මියගොස් සිටින්නේ මගේ මිත්‍රයෙකි. ඉකුත් 20 වැනිදා නිවසේ සිට නේවාසිකාගාරයට පැමිණ රාත්‍රි කෑම කා අපිත් සමග නින්දට ගියා. නමුත් පසු දා උදෑසන සියලු දෙනා අවදි වුවත් මොහු අවදි වූයේ නැහැ. පසුව මොහු ළඟට ගොස් ඇඟ හොල්ලා කතා කළා. කිසිම කතාවක් නොකළ නිසා විශ්වවිද්‍යාලයේ අදාළ බලධාරීන්ට දන්වා මොහු පඹහින්න රෝහලට ගෙන ගියා. එහිදී වෛද්‍යවරයා මොහු මියගොස් ඇතැයි දන්වා සිටියා.”

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එල්. කේ. සී. කේ. ආරියරත්න මහතා මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කටයුතු කළහ. සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප චින්තක විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත පො. සැ. (42918) සේනාරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment