මධ්‍යකාලීන යුගයෙන් නව යුගයට

774

(ඇතුලේ තිබෙන බඩු හෙඩිමට සැර වැඩිය)

ශිෂ්ටාචාරයට පැමිණි මනුෂ්‍යයා විසින් සාදන ලද භයානකම යුගය වූකලී මධ්‍යකාලීන යුගය වේ. යුගයක් යනු ඉබේ හැදෙන දෙයක් ලෙස අප හිතුවත් මිනිස් අතින් හා හිතෙන් ද යුගයක් සැදීමට පුළුවන. මධ්‍යකාලීන යුගය හෙවත් Dark Ages ලෙස හඳුන්වන යුරෝපීය යුගය පටන්ගන්නේ මෙයට අවුරුදු 1500 ට පමණ පෙර ක්‍රිස්තු වර්ෂ 476 දීය. මේ යුගය අවුරුදු 1000 ක් එක දිගට පැවැති අතර ක්‍රිස්තු වර්ෂ එක්දහස් හාරසිය අනූ ගණන්වලදී නිමාවට පත්විය. මධ්‍යකාලීන යුගය සමාජයීය වැදගත්කමකින් යුතු වකවානුවකි. රජතුමා සහ පූජකයා යන දෙදෙනා මේ යුගයේදී එක තරමට බලවත් වූහ. හැබැයි දෙදෙනාගෙන් වැඩිම බලවතා කවරෙක්ද යන ප්‍රශ්නය දෙදෙනා තුළම විය. මේ උරගා බැලීම සඳහා රජතුමා විසින් පුළුවන් හැම විටකම පූජකයාට shot එකක් දෙන ලදී. පූජකයා ද නිසි කාලය එන හැම විටකම මේ shot එක රජතුමාට return කළේය. පූජකයා සිටියේ දේව බලය සමගය. එම දේව බලයේ අයිතිකාරයා වූ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ බලපත්‍රලාභී නියෝජිතයන් ලෙස පූජකයෝ පෙනී සිටියහ. ඒ අතර රජතුමාට රාජ්‍ය බලය විය. මධ්‍යකාලීන යුගයේ රාජ්‍ය බලය යනු හමුදා බලයයි. සිය හමුදා බලය යොදවා පූජක ප්‍රජාව කණපිට ගැසීමේ හැකියාව රජුට තිබුණද, බැතිමත් ජනතාව පූජකයන් සමග සිටි බැවින් එබඳු පියවරක් ගැනීමෙන් රජු වැළකී සිටියේය. මේ බල අරගලය නිසා මධ්‍යකාලීන යුගයේදී හිර ගෙවල් ජාති දෙකක් තිබිණ. ඉන් පළමුවැන්න රජතුමාට හෙවත් ආණ්ඩුවට අයත් හිර ගෙවල් ය. දෙවැනි හිර ගෙවල් වර්ගය වූකලී පූජකයන් විසින් තාපසාරාම තුළ සාදාගන්නා ලද රහස් බිංගෙවල් ය. ආගමට විරුද්ධ වුණු අය, ආගම ගැන ප්‍රශ්න කළ අය, ප්‍රාතිහාර්ය ප්‍රතික්ෂේප කළ අය, සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යය සූර්යයා නොව පෘථිවිය ය යන පූජක මතය පිළිනොගත් අය මූලික වශයෙන් මේ හිර ගෙවල් තුළ දමා දස වධ දී මරණ ලදහ. මේ සිරගෙවල් තුළ දුක් විඳි තවත් කණ්ඩායමක් විය. ඉන් පළමුවැන්න වූයේ පූජකයන් සමග ඇඳට යෑමට අකැමැති වූ නව යොවුන් තරුණියන් ය. දෙවැනි කට්ටිය වූයේ සිය බිරිඳ හෝ දියණිය හෝ සහෝදරිය හෝ පූජකයන්ට දන් දීමට අකැමැති වූ පිරිමි ය. මේ දෙගොල්ලොම පණ පිටින් පුළුස්සා ඝාතනය කරන ලදී. ඒ සඳහා යක්ෂ පරික්ෂාව නමැති විනිශ්චය ක්‍රමයක් මගින් අදාළ ගැහැනිය හෝ පිරිමියා තුළ යකකු සිටින බව ඔප්පු කරනු ලැබේ. ඉන්පසු එම මිනිසා තුළ සිටින යකා පිළිස්සීම සඳහා මිනිසාට ගිනි තබනු ලැබේ. ඔන්න ඔහොම තමයි ඒ දවස්වල වැඩ.

අපට ඉහත සඳහන් කතාව මතක් වූයේ මිනුවන්ගොඩ ආරාමයක ප්‍රධාන සිල් මාතාව විසින් බාල වයස්කාර මෙහෙණින් වහන්සේලාට නිතර නිතර පහරදීම, එම සිල් මාතාවන්ගේ දෙමාපියන් මතක් කර බැණ වැදීම යනාදිය නිසා හටගත් අර්බුදයක් ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමය. ලොකු සිල් මාතාවගේ වධ බන්ධන ඉවසීමට බැරි වූ තැන පුංචි මෙහෙණින් වහන්සේලා සිවුරු දෙහි ගස්වල වනා පැන ගියහ. පලාපත්වල පද්මා නමැති සැකකාර සිල් මාතාව බෙහෙවින් වයස්ගත බවත් පරලෝකප්‍රාප්ත වීම සඳහා අවශ්‍ය වීසා බලාපොරොත්තුවෙන් සිටින මට්ටමේ පිංවතියක බවද ඇගේ පිංතූර දැකීමෙන් අපට පසක් කරගත හැකි විය. මේ කතන්දරේ හැටියට මේ කියන ආරාමය තුළ ප්‍රධාන සිල් මාතාවට අමතර තවත් දැරියන් තිදෙනෙක් මහණ වී සිටියහ. ඒ අතර මෙහිම මහණ වීම සඳහා තවත් කාන්තාවක් එම ආරාමයට පැමිණ සීමාවාසික කාලයක් හෙවත් internship එකක් ගතකරමින් සිටියාය. ලොකු සිල් මාතාව පොඩි කට්ටියට වධ දෙනු දුටු ඇයට මහණ වීම එපා විය. අන්තිමේදී ඇය කුඩා මෙහෙණින් වහන්සේලා තිදෙනා ද සමග ආරාමයෙන් පැන ගියාය. දින කිහිපයකට පසු මේ සිව්දෙනා නුවරඑළියේදී පොලිසිය භාරයට ගනු ලැබීය. කුඩා දැරියන් තිදෙනා විඳි වධ තිස්දෙක ගැන කටඋත්තර ලබාගැනීමෙන් පසු ලොකු සිල් මාතාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට පොලිසියට සිදුවිය. පූජකයන් සහ චීවරධාරීන් හිරේ විලංගුවේ වැටීම ගැන මෑත ඉතිහාසයේදී කතන්දර රැසක් අපට අසන්නට ලැබිණ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තැබූ තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියා එල්ලා මරණ ලදී. එම මිනීමැරුම plan කළ මාපිටිගම බුද්ධරක්ඛිත නමැති චීවරධාරියා ජීවිතාන්තය දක්වා හිරේ ගොස් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී හිරගෙදර තුළම මළේය. බුද්ධරක්ඛිත හිරේට ගිය ගමන් එක හොඳ වැඩක් කළේය. එනම් සිවුර ගලවා දමා පන්සිල් ගැනීමය. උපසම්පදා වූ ඕනෑම චීවරධාරියකුට පන්සිල් සමාදන් වීමෙන් ගිහියකු බවට පත්වීමට අවස්ථාව ලැබේ. මීට අමතරව ඌවතැන්නේ සුමන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන අයද මෑත කාලයේදී හිරේ ගොස් ජනාධිපති සමාව ලැබ (මේ ජනාධිපති නොව) නිදහස්ව ගියහ. එහෙත් අපට හැඟෙන පරිදි කිසියම් සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයට පත්වන පළමුවන සිල් මාතාව බවට පලාපත්වල පද්මා සිල් මාතාව පත්වෙයි. මෙහිදී සිය බිරිඳටත්, පෙම්වතියගේ සැමියාටත් එකවර අධි මාත්‍රාවෙන් ඉන්සියුලින් ලබාදී ඔවුන් ඝාතනය කළ මැතිව් පීරිස් නමැති ලෝගුකාරයා ද සිහිපත් කරනු ලැබේ. ද්විත්ව මිනීමැරීමේ චෝදනාවට හිරේ ගොස් සිටියදී ඔහු මළේය.

ලංකාවේ තිබෙන සියලු ආගම් කිසියම් ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යා යුතු බව අපගේ මතය වේ. අතදරුවන් රජකමට පත්කළ අවස්ථා ලංකා ඉතිහාසයේ ඇත. ඒත් ඒ හැම අතදරුවෙක්ම අන්තිමේදී කෙළවා ගත්තේය. ඒ අතර අතදරුවන් මහණ කිරීමේ වැඩපිළිවෙළක් මේ රටේ ක්‍රමයෙන් නැගී එමින් පවතී. බුද්ධකාලීන යුගයේදී රාහුල කුමරු මහණ කිරීමේදී සමාජ ප්‍රශ්නයක් ඇති විය. එම ප්‍රශ්නය හටගන්නේ රාහුල කුමරුන්ගේ මව වූ යශෝදරා දේවියගේ අනුමැතියක් නැතිව රාහුල කුල කුමරුවා මහණ කර තිබීමෙනි. දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන් මහණ කිරීම වහා නැවැත්විය යුතු බව එම සිද්ධියෙන් පසු බුදුන් වහන්සේ ප්‍රකාශයට පත් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment