කොස්ලන්දේ ඉඳන් කොළඹ ආවේ ගුරුවරියක් වෙන්න

මධුෂානි වික්‍රමසිංහ මේ දවස්වල වැඩකරන්නේ ලොක්කා ළඟ. ලොක්කා ලෙඩවෙලාලු. ඇත්තටම ලොක්කාට මොකද වෙලා තියෙන්නේ. කවුද මේ ලොක්කා. ඒ ගැන දැන ගන්න හිතාගෙන අපි ඇයට කතා කළා.

මධුෂානි වේදිකාවේ ලොකු වැඩක කියලා ආරංචියි?

ඔව්. වේදිකාවට සම්බන්ධ වුණේ ටික කාලයකින්. මම කලාවට ආවේ වේදිකාවෙන් වුණාට මට වේදිකාවත් එක්ක වැඩකරන්න හම්බවුණේ හරිම අඩුවෙන්. වැඩිපුරම වැඩ කළේ සිනමාවේ. මේ දවස්වල මම ගිහාන් ප්‍රනාන්දු ගුරුවරයාගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන ලොක්කා ලෙඩවෙලා වේදිකා නාට්‍යය සමග කාර්යබහුල වෙලා ඉන්නවා. හරිම මැජික් තියටර් ප්ලේ එකක්. ඒ නිසා මම හරිම සතුටින් වැඩකරන්නේ. මම ඇරුණම අනෙක් හැමෝම වේදිකාවේ අවුරුදු තිහක් තිස්පහක් පමණ අත්දැකීම් තියෙන අය. ඇත්තටම ආපහු ඇක්ටින් ස්කූල් එකකට ගියා වගේ.

මධුෂානි ලොක්කා ලෙඩවෙලා එක්ක…

වේදිකාවේ දැවැන්තයන් සමග ගෙවන අත්දැකීම්?

ඒක තියටර් ස්කූල් එකක් වගේ. ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් පිරිසක් එක්ක තමයි වැඩ කරන්නේ. ගිහාන් ප්‍රනාන්දු සර්ට අමතරව චමිලා පීරිස්, අජිත් ලොකුගේ, සරත් කරුණාරත්න, ආලෝක සම්පත් වගේ සියල්ලගෙන්ම මාව අධ්‍යක්ෂණය වෙනවා. ඇත්තටම මගේ රංගන ජීවිතයට ලැබුණු මාර අවස්ථාවක්. මේ අත්දැකීම කාටවත් හම්බවෙන්නේ නැති අවස්ථාවක්. හරිම සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ.

ගොඩක් කාලෙකට පස්සේ ද වේදිකාවට ගොඩවුණේ ?

අවුරුද්දකට විතර පස්සේ තමයි වේදිකාවට ගොඩවුණේ. අන්තිමට මම රඟපෑවේ සරත් කොතලාවල අයියාගේ පාරාවෝ සටන්වදී වේදිකා නාට්‍යයේ තමයි රඟපෑවේ. එතකොට වේදිකාවත් එක්ක වැඩකරන්නේ නැතිව ඉඳලා අවුරුද්දක් වෙනවා. දැන් ආපහු වැඩ.

ගිහාන් ප්‍රනාන්දු ඔබේ ගුරුවරයා නේද?

ඔව්. ගිහාන් ප්‍රනාන්දු කියන්නේ මගේ ගුරුවරයෙක්. මම ජාතික තරුණ සේවා සභාවේ පූර්ණ කාලීනව රංගනය හදාරන කාලය තුළ ගිහාන් සර්ගෙන් මම රංගනය ඉගෙන ගෙන තියෙනවා. සතුටුයි සර් එක්ක එකට රඟපාන්න ලැබීම වගේම මේ නාට්‍යයට මාව තෝරාගැනීම පිළිබඳව.

ගෙවීගිය කාලයේ මොනවාද කළේ ?

ගෙවීගිය කාලයේ සිනමාවත් එක්ක තමයි කාලය ගෙවුණේ. සිනමා නිර්මාණ කිහිපයක් එක්ක වැඩකරනවා. මම මේ දවස් ටිකෙත් ජනක දෙහිවල ලියනගේ මහත්මයාගේ කොටකෙතන කියන සිනමා නිර්මාණයට සම්බන්ධවෙලා ඉන්නවා.

දැන් රූපලාවන්‍ය ව්‍යාපාරය අතහැරියාද?

නැහැ. රූපලාවන්‍ය කටයුතු මම කරගෙන යනවා. මගේ සැලෝන් එක දැනට මම ගෙදර කරගෙන යනවා. ඒ හැම එකත් එක්කම මට දැන් හරි කාර්යබහුලයි.

ලොක්ක ලෙඩවෙලා එක්ක රට වටා යන්න අදහසක් තියෙනවාද?

පසුගිය 05 වැනිදා තමයි පළමු මංගල දර්ශනය පැවැත්වූයේ. මේ වෙනකොට රට වටා දර්ශන වාර විස්සකට ආසන්න ප්‍රමාණයක් ආරාධනා ලැබිලා තියෙනවා. ඇත්තටම ඒ ගැන සතුටුයි. මේ නාට්‍යයේ අර්ථපතීත්වය දරන්නේ ජූඩ් ශ්‍රීමාල්. තවත් දර්ශනයක් අද (07 වැනිදා) සුදර්ශියේ එළිමහන් රංග පීඨයේදී පවත්වනවා.

මධුෂානි ලොක්කා ලෙඩවෙලා එක්ක…

වේදිකාවෙන් ඈත්වුණ කාලය ගැන දුකක් තියෙනවාද?

ඇත්තටම දුකක් නැහැ. මම ඒ කාලයේ වැඩ කළේ සිනමාවේ. සිනමාව සහ වේදිකාව එක්ක තමයි මම නිතරම වැඩකරන්නේ. වේදිකාවෙන් ඈත්වුණ ටිකේ වේදිකාවේ. වේදිකාවෙන් ඈත්වුණ ටිකේ සිනමාවේ. හැබැයි මේ දවස්වල සිනමාව සහ වේදිකාව කියන දෙකේම සමබරව වැඩ කරනවා.

ටෙලිනාට්‍යවලට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ නැතිද?

ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. නැතිව නෙමෙයි. නමුත් මට මේ ටිකේ නම් ටෙලිනාට්‍යවලට කාලයක් ඉතුරුවෙලා තිබුණේ නැහැ. මම ආසා විදිහේ චරිතයක් ලැබුණොත් භාර ගන්නවා. අනික ටෙලිනාට්‍යවලට පෙර පුහුණුවීම් නැති හින්දා මට චරිතයක් ලැබුණොත් ඒ සඳහා සූදානම් වීමට කාලයක් ඕනෑ. හැබැයි පසුගිය දවස්වල මම ටෙලිනාට්‍ය දෙකකට විතර සහභාගි වුණා.

වැඩිපුර කැමැති සිනමාවටද? වේදිකාවටද? ටෙලිනාට්‍යවලටද?

ඇත්තටම කැමැති සිනමාවට. සිනමාව තමයි සිහිනය. වේදිකාව තමයි රංගන පාසල.

රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් ?

මම හරිම දුෂ්කර ගමක තරුණියක්. කොළඹ ඇවිත් මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා තවම අවුරුදු පහක් විතර ඇති. ඒ කාලය ඇතුළත නිර්මාණ රැසකට දායක වුණා. සිනමා නිර්මාණ කිහිපයක ප්‍රධාන චරිත කරන්න මට හම්බවුණා. තවත් දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයක් තිරගතවීමට නියමිතයි. මට වේදිකාවේ මේ වගේ විශේෂ චරිතයක් ලැබුණ පළමු අවස්ථාව. ඒ හැම දෙයක් ගැනම ආපහු හැරී බැලුවොත් හරිම සතුටුයි. මම එන්න එන්න ඉදිරියට ඇවිත් කියලා හිතෙනවා.

එතකොට ගම කොහේද?

බණ්ඩාරවෙල ප්‍රදේශයේ කොස්ලන්ද කියන ගමේ තමයි මම ජීවත් වුණේ.

කොස්ලන්දේ ඉඳලා කොළඹ ආපු ගමනේදී මුහුණ දුන් අභියෝග?

ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා. මට පුංචි කාලේ ඉඳලා ආසාවක් තිබුණා නිළියක් වෙන්න ඕන කියලා. හැබැයි මම හිතුවේ නැහැ ඒක සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා. මොකද මම වගේ ගමක ළමයෙකුට කොළඹ ඇවිත් සිනමාවේ ප්‍රධාන චරිතයක් රඟපානවා කියන එකම හීනයක්. ඒ හින්දා මම ගුරුවරියක් වෙනවා කියලා තමයි හිතාගෙන හිටියේ. නමුත් වාසනාවකට වගේ මට පුළුවන් වුණා ජාතික තරුණ සේවා සභාවේ රංගන පාසලට සම්බන්ධවෙලා රංගනය හදාරලා ක්‍ෂේත්‍රයට සම්බන්ධවෙන්න පුළුවන් වුණා. ගොඩක් කටුක අත්දැකීම් තියෙනවා. මොකද ගැහැනු ළමයෙක් විදිහට කොළඹ ඇවිල්ලා තනියෙන් මේ ගමන එද්දී ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණ තැන් තියෙනවා. හැබැයි ඒ හැමදෙයක් ගැනම දැන් ආපසු හැරී බැලුවොත් හරි රසවත්.

මේ ගමනේදී කැපිලි කෙටිලිවලට මුහුණ දුන්නාද?

මම මුලින්ම කොළඹ ඇවිත් නතර වෙන්නේ ලොකුඅම්මලාගේ ගෙදර. කොළඹට ආව මුල්ම කාලේ අම්මාගේ පැත්තේ ඥාතීන් මට ගොඩක් උදව් කළා. තරුණ සේවා සභාවේ රංගන පාසලට සම්බන්ධවෙන්න පටන් ගත්තාට පස්සේ මම මහරගම තනියම ජීවත්වෙන්න පටන් ගත්තා. ඒ කාලේදී මට නගරය නුහුරුයි. ක්‍ෂේත්‍රයෙත් යම් යම් පොඩි පොඩි කැපිලි කෙටිලි තිබුණා. හැබැයි ඒවා එච්චර හිතුවේ නැහැ.

කොස්ලන්දේ ඉඳලා කොළඹ ආවේ නිළියන් වෙනවා කියන අරමුණ ඇතිවද?

නැහැ. නැහැ. මම කොළඹ ගුරුවරියක් වෙනවා කියන අදහසින්. යටිහිතේ තිබුණ නිළියක්වීමේ සිහිනය මට අන්තිමේ සැබෑ කරගන්න පුළුවන් වුණා.

ගෙදරින් මොනවද කියන්නේ ?

මුල් කාලයේදී අම්මා නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මොකද මම පවුලේ එකම දරුවා. ඒ ගොල්ලෝ නිළියක් වෙනවා කියන අදහසට කැමැති වුණේම නැහැ. මොකද අම්මාට තාත්තාට මගේ පස්සෙන් ඇවිදින් මාව පරිස්සම් කරන්න ටිකක් අමාරුයි. මොකද ඒ ගොල්ලන්ටත් කොළඹ ඇවිත් ඉන්න එපායැ. ඒක ඔවුන්ට කරන්න අමාරුයිනේ. හැබැයි මම ක්‍ෂේත්‍රයේ වැඩකරන්න පටන් ගත්තාට පස්සේ මම වැඩකරන විදිහත් එක්ක ඔවුන් මාව අගයනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment