මහත් වූ ශාසනික සේවාවක් ඉටුකළ බුද්ධංගල ආනන්ද යතිවරයාණෝ……

528

බන්ධනාගාරයේ ජේලර්වරයකු ලෙස සේවය කළ මැන්ඩිස් වීරසේකර හා සුමනා වීරසේකර දෙපළට දාව 1943 අපේ‍්‍රල් 29 වැනි දා උපත ලද ආනන්ද වීරසේකර දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. කොළඹ නාලන්දා විද්‍යාලයේ මූලික අධ්‍යාපන කටයුතු හැදෑරූ අතර පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නා ලෙස පාපන්දු කණ්ඩායමට නායකත්වය ලබා දෙන ලදී. එසේම ඔහු ශ‍්‍රී ලංකා තරුණ පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ලදී. පාසල් විවාද කණ්ඩායමේ චතුර කථිකයකු ලෙස දක්ෂතා පෙන්වූ අතර නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු ලෙස ද කටයුතු කර ඇත. නාලන්දා විද්‍යාලය තුළ එකල දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස මහත් වූ සේවාවක් නාලන්දා මාතාවට සිදු කරන ලදී.

 1964.03.26 දින දෙවන ලූතිනන්වරයකු ලෙස ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වන අතර 1998 වසරේදී මේජර් ජෙනරාල්වරයකු ලෙස ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා සක‍්‍රිය සේවයෙන් සමුගන්නා ලදී. මෙම සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබ වූ අතර වැරදි මඟට යොමු වූ තරුණයන් යහ මඟට ගැනීම සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කරන ලදී. විවිධ වූ දේශීය හා විදේශීය පුහුණු සේවා මඟින් පන්නරය ලැබූ ආනන්ද වීරසේකර උත්තම සේවා පදක්කම, පූර්ණ භූමි පදක්කම ඇතුළු විවිධ වූ පදක්කම් සහ සම්මානවලට යුද හමුදා දිවිය තුළ පාත‍්‍ර විය.

 එමෙන්ම ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ආයතනයේ උප සභාපති ලෙස ද හමුදා ජීවිතයෙන් අනතුරුව කටයුතු කරන ලදී.

 2007 මැයි 01 වැනි දා බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී බුද්ධංගල ආනන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් වී 2008 වසරේදී උපසම්පදා ලබා ගත් බුද්ධංගල ස්වාමීන් වහන්සේ තමන්ගේ පැවිදි දිවිය අර්ථවත් කරමින් දෙස් විදෙස් බණ, භාවනා, ධර්ම සාකච්ඡුාවල නියැලෙමින් මහත් වූ ශාසනික සේවාවක් ඉටු කරන ලදී. ”කාය සිල්මාතා” කෘතිය ඇතුළු ධර්ම කෘතීන් පරිවර්තනය කළ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් යශෝධරාරාමය ඉදි කළේ මහත් කැපවීමකිනි. සීලාධී ගුණ ධර්ම වලින් ප‍්‍රශස්ත උන්වහන්සේ බුද්ධ ශාසනයට පමණක් නොව දිගාමඬුල්ල දිස්ත‍්‍රික්කයේ අහිංසක අසරණ ජනතාවට සරණක් වෙමින් අර්ථවත් ජීවිතයක් ගත කර 2021 දෙසැම්බර් මස 28 වන දින වසර 78 ක් ආයු වලඳා උන්වහන්සේ අපවත් වූ සේක.

 මේ වන විට උන් වහන්සේගේ දේහය බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ තැන්පත් කර ඇති අතර අද (30* පස්වරු 1.00ට පාංශකූලය දීමෙන් අනතුරුව අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට ගුවනින් වැඩම කරවීමට නියමිතය. හෙට (31* පස්වරු 3.00 ට ආදාහන කටයුතු අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී සිදු කිරීමට නියමිතය.

 උන්වහන්සේට අජරාමර නිවන් සුව පතමු.

advertistmentadvertistment
advertistmentadvertistment