මහබාගේ උක්කුවාගේ ඝාතනයට යුද හමුදා කෝප්‍රල් හා හිටපු සෙබළෙක් දැලේ

96

රාගම මහබාගේ ප්‍රදේශයේදී පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝාතනය කළ “උක්කුවා” නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් සක්‍රීය සේවයේ නිරත යුද හමුදා කෝප්‍රල්වරයකු සහ හිටපු හමුදා සෙබළකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදෙස්ගතව සිටින ඩුබායි නිපුන නමැත්තාගේ ගෝලයන් බවට පොලිසිය සැකකර තිබුණි. මෙම පුද්ගලයාට වෙඩි තැබීමට යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින කෝප්‍රල්වරයා පැමිණ ඇති බව විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව සේවයේ යෙදී සිටින කෝප්‍රල්වරයා හා හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.

සක්‍රීය සේවයේ යෙදී සිටින කෝප්‍රල්වරයා චෙංකලඩි කඳවුරේ සිව්වන ගැමුණු හේවා බලඇණියේ සේවය කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු පලාගොස් ඇති නමුත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔහුව අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගජබා රෙජිමේන්තුවේ සන්නද්ධ බුද්ධි බළකායට අනුයුක්ත හිටපු සෙබළකුද හක්මන උඩගහවත්ත නරවැල්පිටිය දකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බුද්ධි බළකායට අනුයුක්තව සිටියදී සේවය අතහැර පලාගොස් පසුව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වී සිටි අයකු බවට හඳුනාගෙන තිබේ.

මියගිය උක්කුවා නමැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන “වැල්ලේ සාරංග” නමැත්තාගේ මස්සිනා බවට හඳුනාගෙන තිබුණි. මියගිය පුද්ගලයාට අයත් ඌරුමස් කඩයේදී ඔහු වෙඩි තබා ඝාතනය කර තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment