මහවැලිය බේරාගත් තිරසර රාජ්‍ය වැඩසටහන

181

වැලි සහ මනම්පිටිය යනු ගහට පොත්ත පොත්තට ගහ සේ සමානය. අනෙක් අතට මනම්පිටිය වැල්ල මේ තරම් රට තුළ ප්‍රචලිත වී ඇත්තේ එම වැල්ලේ ඇති ඉහළ ප්‍රමිතිය නිසාය. එනම් ඉදිකිරීම් සඳහා අවශ්‍ය කරන ඕනෑම වැල්ලක් මනම්පිටියේ ඇත. කපරාරුවට, බිත්ති බැඳීමට, කොන්ක්‍රිට් එකට ආදි විවිධ ඉදිකිරීම්වලට අවශ්‍ය ඕනෑම වැල්ලක් මනම්පිටියෙන් ලබා ගැනීමට හැකිවීම මනම්පිටිය වැල්ලේ ඇති සුවිශේෂි ගුණයකි. එවැනි ඉහළ වටිනාකමක් මනම්පිටිය වැල්ලේ තිබුණද අනෙකුත් දිස්ත්‍රික්කවල වැලිවලට වඩා ඉතාම අඩු මිලකට ලබා ගත හැක්කේද මනම්පිටියේ වැල්ලය.

අද වන විට රටේම වැලිවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එයට බලපෑ හේතු රාශියක්ද ඇත. පරිසරයට හානි කරමින් එතෙක් සිදු කළ වැලි කැණීම් බලපත්‍ර නතර කිරීමට තීන්දු තීරණ ගැනීමත් නව නීති රීති සකස් වීමත් තුළ වැලි කැණිම් ශීඝ්‍රයෙන් අඩුවිය. වැලි කැණීම් හරහා සිදු වෙමින් පැවති පරිසර හානිය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබීමෙන් ඊට ඍජුවම මැදිහත් වීමට රජයට සිදුවිය.

එම මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ස්ථානවල වැලි කැණිම් නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමටත් ඒ හරහා සාධනීය විසඳුම් ලබා ගැනීමටත් රජයට සිදු විය. මෙරට ඉදිකිරීම්වලින් විශාල කොටසකට වැලි ලබාදුන් ප්‍රමුඛතම වැලි කැණිම් ව්‍යාපෘතිය තහනම් විය. ඒ අනුව එකල විශාල ජනප්‍රියත්වයක් ලබා තිබූ මා ඔයේ වැලි හෙවත් අලව්වේ වැල්ල නතර විය. එමෙන්ම දැදුරු ඔයේ වැලි කැණීම් නතර වීමත් සමග දැදුරු ඔය වැලි ද අහිමි විය. මේ නිසාම රටේ ඉදිකිරීම්වලට අත්‍යවශ්‍ය වූ වැලි සම්පත ශීඝ්‍රයෙන් හිඟ විය. ඒ හරහා මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය උග්‍ර අර්බුදයකට ලක්විය. ඒ හේතුවෙන් ඉල්ලුම ඉහළ ගිය අතර ඒ හා සමගම වැලිවල මිලද ඉතා ශීඝ්‍රයෙන් ඉහළ නැග්ගේය. මේ වන විටත් මෙරට සියලු වැලි කැණිම් බලපත්‍ර ලබාදී තිබුණේ පෞද්ගලික බලපත්‍ර ලාභීන්ට වූ අතර ඔවුන් ඉතා ඉහළ මිලට වැඩි ලාභයට වැලි විකිණීම සඳහා වැලි කැණිම් ඉහළ දැමීමට කටයුතු කොට තිබුණි.

මේ තත්ත්වය තුළ ට්‍රැක්ටර් රථ, බැකෝ යන්ත්‍ර ගඟටම දමා ගං ඉවුරු සේම ගඟ පතුල ද හාරමින් පරිසරය ද විනාශ කරමින් වැලි කැණිම් සිදු කළේය. මේ තත්ත්වය තුළ ගඟට පමණක් නොව වනජීවි කලාපයන්ට ද වන සංරක්ෂණ කලාපයන්ට ද විශාල හානි සිදුවිය. මේ නිසාම ඒ පිළිබඳව ද රජයට යළිත් සක්‍රිය මැදිහත්වීමක් කිරීමට සිදුවිය. ඒ අනුව වැලි කැණිම් නීති තද කිරීමටත් පෞද්ගලික කැණීම් බලපත්‍ර ලබාදීම සීමා කොට පූර්ණ රාජ්‍ය මැදිහත්වීමක් ඇති ආයතනයකට වැලි කැණීම් බලපත්‍ර ලබාදී රාජ්‍ය මැදිහත් වීම මත රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් සඳහා වැලි ලබා ගැනීමත් තීරණය විය.

එම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස 2001 වර්ෂයේ ආරම්භ කරන ලද පූර්ණ රාජ්‍ය ආයතනයක් වූ පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශයට අනුබද්ධ තාක්ෂණ සේවා ආයතනය හරහා 2008 වර්ෂයේදි මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. පූර්ණ රාජ්‍ය ආයතනයක් ලෙස මෙම ආයතනය ආරම්භ කරන ලද්දේම එතෙක් පැවති පරිසර හානිය අවම කර ගනිමින් අධික වැලි මිල පාලනය කොට රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සඳහා ගුණාත්මක බවින් ඉහළ වැලි රාජ්‍ය මැදිහත්වීම තුළින්ම ලබාදීම සඳහාය. ඒ අනුව එවකට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින් මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. එදා සිට අද දක්වාම වසර 15 ක් මනම්පිටියේ වැලි කැණීම් සිදු කරන්නේ තාක්ෂණ සේවා ආයතනය මගිනි. මේ වනවිට අපේක්ෂිත අරමුණු අවශ්‍යතාවයටත් වඩා ඉටු කිරීමට රාජ්‍ය ආයතනයක් ලෙස ජී එස් එම් බී ටෙක්නිකල් සර්විසස් සමාගමට හැකි වී ඇත. අද වන විට ද රාජ්‍ය ආයතනයක් වැලි කැණීම් සිදු කරන්නේ මනම්පිටියේ පමණි. ඉතිරි සියලු ස්ථානවල වැලි කැණීම් සිදු කරන්නේත් අදාළ බලපත්‍ර ලබාදී ඇත්තේත් පුද්ගලික අංශයට වන නිසා වැලි මිල ඉහළ යෑමටත් විශාල පරිසර හානියක් සිදුවීමටත් එය හේතු වී ඇත.

ඒ නිසාම වැලි කැණීම් කිරීමේදී සිදුවන පරිසර හානිය නැති කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යම අතර පූර්ණ රාජ්‍ය ආයතනයකට එම කැණීම් බලපත්‍ර ලබා දීමත් සිදුවිය යුතුය. එසේ නොවන තාක්කල් මෙරට වැලි කැණීම් නිසා සිදුවන පරිසර හානිය නවතාලිය නොහැක.

වසර පහළවක් වැලි කැණීම් සිදු කළ ද මනම්පිටිය වැලි ව්‍යාපෘතිය තුළ ඇති පරිසර හිතකාමී ක්‍රමවේදය අතිශය වැදගත්ය. ඉතාම ක්‍රමානුකූලව කම්කරුවන් යොදා ගනිමින් ගඟට ගං පතුලට ගං ඉවුරට හානි නොකර මහවැලි ගඟේ වැලි ලබා ගන්නා අයුරු මනම්පිටිය ව්‍යාපෘතිය තුළ දැකගත හැකිය. එමෙන්ම නිරන්තරයෙන්ම රුක් රෝපණ වැඩ සටහන් දියත් කරමින් කටයුතු සිදු කෙරෙන අතර ගසක අත්තකට හෝ හානි සිදු නොකර එම කටයුතු සිදු කිරීම අගය කළ යුතුමය.

මධ්‍යම පරිසර අධිකාරිය වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් එක්ව සිදු කෙරෙන ඒකාබද්ධ පසුවිපරම් කමිටුව හරහා ද මනම්පිටිය ව්‍යාපෘතිය තත්ත්වය පරීක්ෂණයට ලක් කිරීම මාසයකට වරක් සිදුකිරීම අතිශය වැදගත්ය. මෙම පසුවිපරම් කමිටුවේ විශේෂත්වය වන්නේ එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මෙරට නම් දැරූ මහාචාර්යවරයෙකි. මහාචාර්ය බී. එම්. පී. සිංහ කුමාර මහතා එම පසු විපරම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් පරිසර හිතකාමි ලෙස වැලි කැණීම් සිදු කිරීම පිළිබඳව මූලික මාර්ගෝපදේශයන් ලබාදීම සිදු කෙරෙයි. එලෙස ඉහළ විද්වත් කමිටුවක් හරහා අධීක්ෂණය කෙරෙමින් මාර්ගෝපදේශයන් ලබාදෙමින් රාජ්‍ය මැදිහත් වීමෙන් සිදු කෙරෙන එකම වැලි කැණීම් ව්‍යාපෘතිය වන්නේ මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියයි. රාජ්‍ය ආයතනයක් හරහා සිදු කෙරෙන නිසාම ප්‍රමිතියෙන් යුතු ඉදිකිරීම් සඳහා යෝග්‍යම වැලි ලබාදීම අනිවාර්ය අතර ආයතනයේ ප්‍රමුඛතම වගකීම වන්නේත් හොඳම වැලි අඩුම මිලට ජනතාව වෙත ලබාදීමය.

එම ප්‍රමිතිය සහ මිල අඩුකම නිසා රටේම ජනතාව අතර නොනැසුනු විශ්වාසයක් මනම්පිටිය වැලිවලට ඇති නිසා ඇත්තේ ඉහළම ඉල්ලුමකි. ඒ ඉල්ලුම නිසාම මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය වෙත දෛනිකව පැමිණෙන ලොරි රථ ප්‍රමාණයට වැලි ලබාදීමට නොහැකි තරම් ඉල්ලුම අධිකය. ඒ තුළින්ම මනම්පිටිය වැලිවලට ඇති ඉහළ ඉල්ලුම ගැන සිතා ගත හැකිය.

එමෙන්ම මෙම කැණීම් ව්‍යාපෘතිය ඇතුළත හා පිටත යන ස්ථාන දෙකෙහිම නිරන්තර පිරිසිදු කිරීම් සිදුවේ. කම්කරුවන් විශාල පිරිසක්ද ලොරි රථ විශාල සංඛ්‍යාවක් ව්‍යාපෘති භූමියට පැමිණිය ද අපිරිසිදු කිරීමට ඉඩක් නොමැත. සුළු වශයෙන් සිදුවෙන අපිරිසිදු වීම වුවද පිරිසිදු කොට යථාවත් කිරීමට අවශ්‍ය කම්කරුවන් ද යොදවා ඇත. එවැනි දේ හරහා තිරසර වැලි කැණීම් ව්‍යාපෘතියක් ලෙස මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන සියලුම මූලික අභියෝගයන් ඉටු කරලීමට රාජ්‍ය ආයතනයක් ලෙස ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විසස් සමාගම සමත්වී ඇත. තවද වනාන්තරය මැද වුවද ලොරි රථ ට්‍රැක්ටර් රථ වැලි පැටවීමට යෑම ඒ නිසා බොරළු අතුරා ඇති මාර්ග දූවිලිවලින් පිරි යන්නේ දැඩි අව්රශ්මිය හේතු කොට ගෙනය. එයට විසඳුම් ලෙස ජල බවුසර් මගින් නිරන්තරයෙන් ජලය ඉසිමින් එම තත්ත්වය පාලනය කිරීමට ද කටයුතු කර තිබීම අතිශය වැදගත්ය.

තිරසර වැලි කැණීම් ව්‍යාපෘතියක් ලෙස මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කිරීමට ඉතා දක්ෂ පළපුරුදු කැණීම් ඉංජිනේරුවන් විශාල පිරිසක් සේම ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින් විශාල පිරිසක් සිටීම ද ඉතා සුවිශේෂිය. මෙවැනි ආකාරයට කැණීම් ඉංජිනේරුවන් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින්ගේ අධීක්ෂණයෙන් තාක්ෂණික නිලධාරීන් හරහා කැණීම් සිදු කෙරෙන මෙරට එකම වැලි කැණීම් ව්‍යාපෘතිය ද වන්නේ මනම්පිටිය තිරසර වැලි කැණීම් ව්‍යාපෘතිය බව සඳහන් කළ යුතුය.

සුජිත් කෝනාර

advertistmentadvertistment
advertistmentadvertistment