මානසික රෝගීන්ගේ ජර්සිය සහ PTA!

68

උභතෝකෝටිකයන් රැසක් මැද මංමුලාවූ ගමනක යෙදෙන පාලන තන්ත්‍රයක් සහිත රටක් බවට මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා. එය නිදහසින් පසු ශ්‍රී ලංකාව අත්විඳින අන්ධකාරම කාලසමය ලෙස පුරෝකථනය කිරීමෙහිද වරදක් නැහැ. කුණාටුවක් මැද ඒ මේ අත වැනෙන, එහෙත් නියමුවන් පවා ඒ පිළිබඳව මායිම් නොකරන අබලන් නෞකාවක තත්ත්වයට රට පත්ව ඇති බව අතිශයෝක්තියක් නොවේ. ආර්ථික සංවර්ධනය පිළිබඳව සකලවිධ සිහින අරාජික දේශපාලන බල න්‍යාය පත්‍රයකට ලඝුවී ඇති අතර ඉතා අශෝභන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් යනාදී යහ කාරණා අරභයා ද නියමින් හෝ අනියමින් තර්ජනාංගුලිය දිගුවී තිබෙනවා.

මනුෂ්‍යත්වය, මනුෂ්‍යත්වය උදෙසා ශිෂ්ට සම්පන්න කිරීම මානව හිමිකම් තුළින් සිදුවන සුවිශේෂී කටයුත්තයි. 1948 දී එක්සත් ජාතීන් විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නිකුත් කළ අතර, එය සමානාත්මතාව සහ මානව හිමිකම් සඳහා වූ වැදගත්ම ලේඛනය බවට පත්ව තිබෙනවා.

අපේ රට මානව හිමිකම් කවුන්සිලයේ මුල් කාලීන සාමාජිකයෙක්. 2008 අවුරුද්දේ දී අපේ රට එහි උප සභාපති. ලෝක මානව හිමිකම් සම්මුතීන්වලට අපි අත්සන් කරලා තියෙනවා. එකී සම්මුතීන් සුරක්ෂිත කරන්න අපේ රටට බැඳීමක් තිබෙනවා. ලෝක ප්‍රජාව ඒ වැඩපිළිවෙළට අපි ස්වෙච්ඡාවෙන් හවුල් වෙලා තියෙනවා වගේම අපි ඊට සම්බන්ධ නම් කොන්දේසි විරහිතව අපි ඒ සම්මුතීන්වලට ගරු කරන්නට බැඳී සිටිනවා.

සත්‍ය වශයෙන්ම මානව හිමිකම් කියන්නේ මොනවාද?

මේ මහ පොළොව මත නිදහස්ව නිවහල්ව ජීවත් වීමට ඇති අයිතිය පොදුවේ මානව හිමිකම් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කිසිම තත්ත්වයක් යටතේ කිසිවෙකුට උල්ලංඝනය කළ නොහැක්කක්. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විවිධ අර්ථකථන තිබෙනවා. නමුත් මූලික වශයෙන් ම අපගේ පාර්ශ්වයෙන් ඉටුවිය යුතු බොහෝ දේවල් වගකීම් විරහිතව අතහැරදැමීම මේ තත්ත්වයට ආසන්නම හේතුව විදිහට හඳුන්වන්න පුළුවන්කම තිබෙනව.

සියල්ල සිල්ලරට ගෙන, විටෙක නොසැලකිලිමත් ලෙසත්, තවත් විටක උද්ධච්ච මහේශාක්‍ය බවකිනුත්, තවත් විටක වංචාකාරී ලෙස කටයුතු කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස අද අපේ රටේ මානව හිමිකම් පිළිබඳව පරීක්ෂණයක මුවවිටට පැමිණ තිබෙනවා. වගකීමකින් තොර නියෝජිතයින් සම්බන්ධ කරමින්, කඩවුණු පොරොන්දු දෙමින්, අද නොවේ හෙට කියන බාලගිරි දෝෂය අනුගමනය කරමින් කටයුතු කිරීමෙහි ආදීනව අද රටක් ලෙස මුහුණ දෙමින් සිටිනවා. මානව හිමිකම් සුරක්ෂිත කිරීම මූනිච්ඡාවට කළ යුත්තක් නොවේ. රැවටිලි සහගත වංචාකාරී බවකින් කළ යුත්තක් ද නොවේ.

අපි සද්භාවයෙන් ම මානව හිමිකම්වලට ගරු කළ යුතුයි.

දිගින් දිගටම ඇස්බැන්දුම් සහ රඟපෑම් කරන්න අපිට හැකියාවක් නැහැ. එහෙම අපට රැවටෙන්න තරම් ජාත්‍යන්තරය බොලඳ නැහැ. වසර ගණනාවක් තිස්සේ අලුත් වටයන්ගෙන් මෙරට ඉලක්ක කොටගෙන එන මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නය කැත්තට පොල්ල න්‍යායෙන් විසඳාගන්නට ආණ්ඩුව බොහෝවිට උත්සාහ ගත්තා. තවත් අතකට, මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමය තුළ ‘ජිනීවා මානව හිමිකම්’ ප්‍රශ්නය යොදා ගත්තේ රැල්ලට පැවැත්වෙන මැතිවරණ ජයගැනීම සඳහා ‘දේශප්‍රේමීන්’ ත්‍රිල් කිරීමේ සහ ඔවුන්ගේ බල ව්‍යාපෘතිය උදෙසා සමාජය ‘රටවෙනුවෙන්’ උත්තේජනය කිරීමේ මෙහෙයුමක් ලෙස. විදුලිපුටු, ජාත්‍යන්තර අධිකරණ මෙරට ගම්දනම්වල පවා ජනගත වන්නේ එම අර්ථයෙන්.

එයින් සිදුවූ අනර්ථය සුළුපටු නොවේ. කෙසේ වෙතත් ජාත්‍යන්තරය බිල්ලෙක් බවට ජනප්‍රියවාදී සටන්පාඨ මැවීමෙහි සමත්කම ආණ්ඩුවට තිබුණා.

අද අපිට සිවිල් යුදධයක් නෑ. යුද්ධයක් තබා ප්‍රචණ්ඩ ගැටුමක් හෝ නැහැ. එහෙත් තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මකයි. අරගලකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීම පිළිබඳ දෙස් විදෙස් මානව හිමිකම් සංවිධානවලින් ද මේ වන විට රජයට දැඩි විවේචන එල්ල වෙමින් තියෙනවා.

නීත්‍යානුකූල විරෝධතා මැඬ පැවැත්වීම සහ මානව හිමිකම් ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් ඉලක්ක කර ගනිමින් පනතේ ඇතැම් වගන්තිය පීඩාකාරී ලෙස යොදාගෙන ඇති බවට මානව හිමිකම් සංවිධාන වෝදනා කරනවා. ඒ චෝදනා ජාත්‍යන්තරය තුළදීවත් සුළුපටු නැහැ.

මෙහෙම දිගින් දිගටම යන්න ගියොත් අපේ රටේ ප්‍රතිරූපය විනාශ වෙනවා. ත්‍රස්තවාදයට ගෑවිලාවත් නැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ව, මාධ්‍යකරුවන්ව, කලාකරුවන්ව, නීතිඥවරුන්ව,සිරිල් පුරවැසියන්ව වධ බන්ධනයට ලක් කිරීම සහ සිරගත කිරීම බරපතළ ඛේදවාචකයක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණයින් මෙලෙස අත්අඩංගුවට ගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ රටට අඳුරු අනාගතයක් උරුම වීම පමණයි. ඝාතන සහ අතුරුදන්වීම් ගැන අඳුරු ඉතිහාසයක් අපට තිබෙනවා. එක්නැලිගොඩ ලා, ලසන්තලා, පෝද්දල ජයන්තලා, උපාලි තෙන්නකෝන් ලා වගේ මාධ්‍යවේදීන් පවා ඒ අතර ඉන්නවා. මේ කිසි දෙයකට වගවීමක් වෙලා නෑ. ඒ නිසා ලෝකය අපිට නගන මේ හඬ දිහා අපි සාධාරණව හිතන්නට අවශ්‍යයි. පුරවැසියන්ට දිගින් දිගටම සාධාරණත්වය ඉටු නොකර අධිකරණයට යන්න තියෙන අයිතිය පවා අසාධාරණ විදියට නීතිය අවභාවිත කොට පාවිච්චි කරනවා නම් වෙන විකල්පයක් නැති වෙනවා.

ගේබ්‍රියල් ගාෂියා මාකේස්ගේ I Only Came to Use the Phone කෙටිකතාව සමහරවිට ඔබ කියවා ඇති. එහි කතා නායිකාව කාන්තාරයක් මැදින් ගමනක් යනවා. ඇගේ වාහනය ක්‍රියා විරහිත වෙනවා. මහ වැස්සේ එතැනින් බසයක් යනවා. එහි සිටින්නේ මානසික රෝගීන් පිරිසක්. බසයේ සිටි පුද්ගලයෙක් තෙතබරිතව සිටින ඇයට ජර්සියක් දෙනවා. එය මානසික රෝගීන් අඳින ජර්සියක්. මානසික රෝහල ඉදිරිපිටදී ඔවුන් පිරිසට බහින්නට වෙනව. බසය අනතුරුව පිටවෙනවා. අර කාන්තාව සිය සැමියාට දුරකථන ඇමතුමක් ගැනීම සඳහා යන්නට සැරසෙනවා. එහෙත් රෝහලේ සේවකයෝ ඇය මානසික රෝගියකු ලෙස වටහා ගෙන බලෙන් රෝහලට ඇතුළත් කරනවා .තමන් ආවේ සැමියාට දුරකථන ඇමතුමක් ගැනීමට බව ඇය පැවසුවත් කිසිවකු ඇයගේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඇය වියරුවෙන් කෑ ගසනවා. අන්තිමට ඇය මානසික රෝගියෙක් ලෙස සලකා රෝහල් ගත කරනවා.

ත්‍රස්තවාදී පනත යොදා ගෙන සිරගත කළ බොහෝ දෙනකුගේ තත්ත්වය එහෙමයි.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment