මාස පහමාරකදී ලක්ෂ 15 කගේ විදුලි බිල 500% කින් නග්ගලා

111

මාස පහමාරක් වැනි කෙටි කාලයක දී විදුලි ගාස්තු දෙවරක් ඉහළ දැමීම නිසා විදුලි ඒකක තිහකට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ පහළොවකගේ පමණ විදුලි බිල සියයට පන්සිය තිහකින් වැඩි කර තිබේ.

මෙරට ලක්‍ෂ හැත්තෑපහක් පමණ වන සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්‍ෂ හතළිහක්ම මසකට විදුලි ඒකක අනූවකට වඩා අඩුවෙන් විදුලිය භාවිත කරන අය වන අතර දෙවරක දී ඒ අයගේ විදුලි බිල සියයට 309ත් සියයට 530ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දමා ඇතැයි ඉංජිනේරුවරයෝ කියා සිටිති.

මෙහිදී වඩා ම බරපතළ අනෙක් කාරණය වී ඇත්තේ කිසිදු විදුලි උපකරණයක් භාවිත නොකරන වොට් 100 බල්බ් දෙකක් පමණක් භාවිත කරන නිවසක විදුලිබිල සියයට 530 කින් ඉහළ යෑම යැයි විදුලි ඉංජිනේරුවරු පවසතී. විදුලි ඒකක 30ට අඩුවෙන් විදුලි භාවිත කරන්නේ අන්ත දුප්පත් පිරිස යැයි ද ඔවුහු කියා සිටිති.

මීට අමතරව විදුලි ඒකක 31 – 60 අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල්පත මාස පහමාරක් ඇතුළත සියයට 439 කින් ඉහළ ගොස් ඇත. විදුලි ඒකක 61 – 90 භාවිත කරන ගෘහස්ත පාරිභෝගිකයන්ගේ බිල්පත සියයට 309 කින් ඉහළ දමා ඇත.

මෙම විදුලි ගාස්තු සංශෝධන අවස්ථා දෙකේ දී 91-120 අතර විදුලි ඒකක භාවිත කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු ඉහළ දමා ඇත්තේ සියයට 169 කිනි. විදුලි ඒකක 121 – 180 අතර ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන පිරිසගේ ගාස්තු ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට 104 කි.

ඒ අනුව ඉකුත් 2022 අගෝස්තු 01 වැනිදා සිදු කළ විදුලි ගාස්තු ඉහළ දැමීම හා ඊයේ (16 වැනිදා) සිට විදුලි ගාස්තු ඉහළ දැමීම සිදුවී ඇත්තේ මේ අකාරයෙනි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment