මිරිස් වගාවේ පැලමැක්කා පාලනයට කලවැල් යුෂ

484

කලවැල් පත්‍ර නිස්සාරකය යෙදිය යුත්තේද ඉතාමත් අවම සාන්ද්‍රණයකිනි. නිස්සාරකයේ මිලිලීටර් 40 ක් ජලය ලීටර් 10 ක දියකර ලබාගන්නා ඉතා තනුක ද්‍රාවණයක් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවේ.

මෙරට වගාකරන බෝග අතරින් වැඩියෙන් පළිබෝධනාශක ඉල්ලා සිටින බෝග අතර ඉදිරියෙන්ම සිටින බෝගයක් ලෙස මිරිස් හැඳින්විය හැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉහළ අස්වැන්නක් දෙන දේශීය දෙමුහුම් මිරිස් ප්‍රභේදයන්ද මේ වනවිට හඳුන්වාදී ඇති නිසා ගොවීන් අතර මිරිස් වගාව කෙරෙහි ඇත්තේද වැඩි උනන්දුවකි. ඇතැම් වගාකරුවන්ගේ අපරික්ෂාකාරී පිළිවෙත් නිසා රසායනික පළිබෝධනාශක පිළිබඳව සමාජය තුළ ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. ඇතැමුන් අනවසරයෙන් මෙරටට ගෙන්වනු ලබන උග්‍ර හානිදායක ද්‍රව්‍ය භාවිත කරති. තවත් කෙනෙක් වැඩි හොඳටයි කියා අවසරලත් සංයෝගයක වුවද අධි මාත්‍රාවක් වගාවට යොදන අවස්ථාවද දැකගත හැකිය. මේ නිසා කවුරු කවුරුත් උත්සාහ කරන්නේ ස්වභාවික ක්‍රමවේදයක් ඔස්සේ පළිබෝධකයන් පාලනය කරන්නටය. ශාකසාර පළිබෝධනාශක සොයායෑම මෙහි ප්‍රතිඵලයකි. ශාකසාරයක් වුවද මිනිසාට විෂ සහිත විය හැකි බව මෙහිදී අමතක කළයුතු නැත. ඒ නිසා ඒවා නියාමනය පිණිසද නීති සකසා තිබේ. කෙසේ වෙතත් ‘අත්බෙහෙත්’ වර්ග කෙතරම් තිබුණත් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අවශ්‍යතා සපුරා දැනට ලියාපදිංචිය ලබා ඇත්තේ එකම එක ශාකසාර පළිබෝධ නාශකයක් පමණක් වන අතර, ඒ කොහොඹ නිස්සාරකයයි.

මිරිස් වගාවේ පැලමැක්කා පාලනයට කලවැල් යුෂ

කලවැල් නමින් සමාජයේ හඳුන්වන ඩෙරිස් පාවිෆ්ලෝරා (Derris parviflora) ශාකයේ පත්‍ර නිස්සාරකයක් මිරිස් වගාවේ පත්‍ර යුෂ උරාබොන කෘමීන්ගේ පැවැත්මට ඇතිකරන තර්ජනය කෙබඳුදැයි සොයාබැලූ පර්යේෂණයක් ප්‍රතිපල පසුගියදා පැවති කෘෂිකර්ම වාර්ෂික සමුළුවේදී ඉදිරිපත්කරන ලදී. අධ්‍යයනය කර තිබුණේ මහඉලුප්පල්ලම පර්යේෂණායතනයේ කෘමි විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය රුවන්ති මන්දනායක ඇතුළු කණ්ඩායමක් විසින්ය.

“මිරිස් වගාවට හානිකරන කෘමීන් අතර පැලමැක්කා, සුදුමැස්සා, කූඩිත්තා සහ මයිටාවා වැනි සතුන් ප්‍රධානයි. මොවුන් යුෂ උරාබොමින් කරන ඍජු හානියට අමතරව සුදුමැස්සා කොළ කොඩවීමේ රෝගය එහෙමත් බෝකරනවා. අනෙක මේ සතුන් බොහොම වේගයෙන් බෝවෙනවා. මේ නිසා ගොවීන්ට සිදුවෙනවා නිතර නිතර පළිබෝධනාශක යොදන්න. ඒකෙ අහිතකර ප්‍රතිඵලය තමයි මේ රසායන ද්‍රව්‍යයන්ට ඔරොත්තු දෙන පළිබෝධකයන් බිහිවීම වගේම වගාවට හිතකර කෘමීන් පවා වැනසී යෑම. ඒ නිසා තමයි අපි උනන්දු වුණේ ශාකසාර පළිබෝධනාශක ගැන තව තවත් ගවේෂණය කරන්නට.”

තම පර්යේෂණ නිමිත්ත ගැන එසේ පැවසුවේ ආචාර්ය රුවන්ති ය. කලවැල් නිස්සාරකය පැලමැක්කන් පාලනය වෙනුවෙන් වඩාත් පලදායී ප්‍රතිඵල පෙන්වූ බව ඇය පවසයි. එහෙත් මයිටාවන් පාලනයට ඒ මගින් එතරම් සහයෝගයක් දී නැත. කලවැල් දියර යෙදූ මිරිස් වගාවන්හි වෛරස් රෝග ආසාදනය අඩුවූ බවක්ද නිරීක්ෂණය වී තිබේ. එසේම පර්යේෂකයන් විසින් වගාවේ සිටිනා හානි රහිත කෘමි ගහනයේ තොරතුරු සොයාබැලීමෙන් තේරුම්ගෙන ඇත්තේ හිතකර කෘමි ප්‍රජාව කෙරෙහිද එතරම් බලපෑමක් ඇතිවී නොමැති බවයි. එය සතුට දනවන කරුණකි. මිරිස් වගාවේ බහුලව ගැවසෙන ලේඩිබර්ඩ් කෘමියන්ගේ ගහන අධ්‍යයනයකින් මේ බව තහවුරු වූ බවද රුවන්ති මහත්මිය සඳහන් කළාය.

කලවැල් පත්‍ර නිස්සාරකය යෙදිය යුත්තේද ඉතාමත් අවම සාන්ද්‍රණයකිනි. නිස්සාරකයේ මිලිලීටර් 40 ක් ජලය ලීටර් 10 ක දියකර ලබාගන්නා ඉතා තනුක ද්‍රාවණයක් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවේ. කෙසේවෙතත් මෙය තවමත් අත්බෙහෙතකි. කලවැල් ශාකයේ අන්තර්ගත ක්‍රියාශීලී සංයෝගයන්හි අවශේෂ මිරිස් අස්වැන්න තුළ කෙතරම් අන්තර්ගත වෙනවාද, තිබේනම් එය කිනම් අයුරකින් මිනිසා කෙරෙහි බලපානවාද වැනි කරුණු ඉදිරි අධ්‍යයනයන්ට විවෘතය. සාමාන්‍යයෙන් ශාකසාර නිස්සාරකයන්හි ඇති දෑ බෙහෙවින් අස්ථායී බැවින්ද භාවිත වන්නේ ඉතා තනුක නිස්සාරකයක් බැවින්ද, රසායනික පළිබෝධනාශක භාවිතයට සාපේක්ෂව මෙය ආරක්ෂාකාරීය. පරිසර හිතකාමීය. වගාකරුගේ නිෂ්පාදන වියදමටද සහනයකි.

  • සනත් එම්. බණ්ඩාර
    [email protected]

    සංස්කරණය – ජගත් කණහැරආරච්චි
advertistmentadvertistment
advertistmentadvertistment