මිල්ලනිය පාසලේ දරුවන් ආයුධ පෙන්වීම සඳහා එක්ක යන දවසකුත් එයිද?

626

අපට දැනගන්නට ඇති පරිදි ගිය අවුරුද්දේ මාස 12 ක කාලයක් තුළ මේ රටේ දරුවන් දහදාස් තුන්සීයක් වැඩිහිටියන් විසින් අපහරණය කරනු ලැබ ඇත. එසේම දීර්ඝ කාලයක් තුළ එකතු වුණු ළමා අපහරණ නඩුකර විසිදාහක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ එකතු වී තිබේ. මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ වරද නොව එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම පිළිබඳ අවුලකි. මේ රටේ සිදුවන සියලුම අපරාධ පිළිබඳ නඩු ගොනු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසිනි. එම දෙපාර්තමේන්තුවට දරාගන්නට නොහැකි තරම් අපරාධ සංඛ්‍යාවක් පසුගිය අවුරුදු දහයක පමණ කාලය තුළ සිදුවිය. ළමයා පිළිබඳ සුරංගනා කතා කිහිපයක් ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් තිබේ. ළමයා යනු ජාතියේ අනාගතය බව එවැනි එක් සුරංගනා කතාවකි. ළමයා ශක්තිමත් කළ තරමට ජාතිය ද ශක්තිමත් වන බව ඊළඟ සුරංගනා කතාව ය. ළමයා යනු අනාගත ජාතියේ බුද්ධිමය කෝෂ්ඨාගාරය බවට තවත් කතාවක් තිබේ. මෙවැනි ලස්සන නමුත් ගොන් කෑලි ග්‍රීක දේව කතාවල ද බහුලව තිබේ. ඉහත සඳහන් සුරංගනා කතා කෑලි හදන කට්ටිය මේ ටික ද පිළිගත යුතුය. එනම්, ජාතියේ අනාගතය ළමයා නම් එම ළමයා අපහරණය වන තරමට ජාතියේ අනාගතය අපහරණය වෙයි. එසේම ළමයා යනු ජාතියේ අනාගත දැනුම් සම්භාරය බව කියන එකා පිළිගත යුත්තේ ළමයා අපහරණය වන තරමටම ජාතියේ අනාගත දැනුම ද අපහරණය වන බවය. ඉහත සඳහන් ඡේදය වූ කලී හොරණ පිහිටි මිල්ලනිය ප්‍රාථමික විද්‍යාලයේ පහේ පන්තියේ සිසුන් පිරිසක් ගුරුවරියක, විදුහල්පතිනි සහ පොලිසිය විසින් අපහරණය කර කරන්ට් වැද්දීම පිළිබඳ මේ දිනවල කතා බහට ලක්වන ඛේදජනක පුවත සම්බන්ධයෙන් ලියන ලද පූර්විකාවකි. එම පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකගේ මුදල් පසුම්බිය පන්ති කාමරයේදී හෝ ගුරු විවේකාගාරයේදී හෝ වැසිකිළියේදී හෝ නොඑසේ නම් සාකච්ඡා නොකළ යුතු වෙනත් තැනකදී හෝ අස්ථානගත විය. එම ගුරු මෑණියන් වහන්සේ විසින් විශ්වාස කරන ලද්දේ පහේ පන්තියේ ළමයින් පිරිසක් පර්ස් එක උස්සන ලද බවය. ඇය මේ බව පාඨශාලාවේ ගුරු මෑණියන් ලෙස හැඳින්වෙන ප්‍රින්සිපල් නෝනාට පැමිණිලි කරන ලදි. ප්‍රින්සිපල් නෝනා වහාම මිල්ලනිය පොලිසියට කතා කර මේ කතන්දරය කීවාය. ස්වල්ප වේලාවක් තුළ පොලිස් ජීප් එකක් විදුහලට පැමිණ සැකකටයුතු පහේ පන්තියේ ළමුන් පිරිසක් පන්ති කාමරයක බිම දණ ගස්වා අතින් සහ බැටන් පොලුවලින් ළමයින්ගේ මුහුණට පහරදෙන ලදි. ඉන්පසු පර්ස් එක ඉස්සූ බවට සැකකෙරෙන කුඩා දරුවන් කිහිපදෙනා ජීප් රියට නංවා ගත් පොලිසිය ඒ දරුවන් පොලිසියට ගෙන යන බව කියා බියපත් කර රවුමක් ගසා නැවතත් පාසලටම ගෙනවිත් ඇරලූහ. ජීප් රියේදී එහි බැටරිය සමග සම්බන්ධ කෙරුණු වයර් එකක් මගින් එක දරුවකුට විදුලි සැර වද්දන ලද බවට සාක්ෂි තිබේ. පසුව මේ කේස් එක දුරදිග ගිය අතර මිල්ලනිය ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි ද පොලිස්කාරයන් දෙදෙනකු ද රිමාන්ඩ් භාරයට පත්කරන ලදි. ඊට අමතරව නැතිවූයේ යැයි කියන පර්ස් එකේ අයිතිකාරිය වූ ගුරු මෑණියන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කර ඇත. මිල්ලනිය පොලිසියේ ඕ.අයි.සී. තැන විජේතුංග නමැත්තෙකි. ඔහු සිය පොලිසිය තුළ සිදුවන මළ මඟුල් කිසිවක් නොදන්නා අසරණයෙකි. මේ සිද්ධිය ගැන අප විසින් ඔහුගෙන් අවස්ථා කිහිපයකදීම විමසන ලද අතර ඔහු කියා සිටියේ එවැනි කිසිවක් සිදුවී නැති බවත් මිල්ලනිය පාසලේ ළමයින් ඇට්ටර ළමයින් බවත් සුනාමියේදි විනාශයට පත්වූ ගෙවල් වෙනුවට අලුතින් හදන ලද ගෙවල්වලට අලුතින් පැමිණි පවුල්වල සාමාජිකයන් බවය. මේ අසරණ ඕ.අයි.සී දැනුවත් මිනිසකු බවට පත්කිරීම සඳහා මිල්ලනිය පාසලේ පහේ පන්තියට ඇතුළත් කර මුල සිටම අධ්‍යාපනය දිය යුතු බව අපගේ වැටහීමය.

අවුරුදු දහයට අඩු ළමයින් පොලිස් අත්අඩංගුවට ගැනීම තහනම් ය. අවුරුදු දහයට අඩු ළමයකු මිනීමැරුමක් සිදු කළද ඒ නීතිය එසේම පවතී. මිල්ලනිය ඉස්කෝලේ ප්‍රින්සිපල් ගුරු මෑණියන්ට කතන්දර හැදීමේ අවශ්‍යතාවක් අප තුළ නැත. එහෙත් මෙතැන් සිට අප විසින් අසනු ලබන ප්‍රශ්න කිහිපයක් අවසානයේදී පාඨකයා මේ කාරණය සම්බන්ධයෙන් වැරදි අර්ථ නිරූපන දීමට ඉඩ තිබේ. එසේ නොකරන ලෙස ඉල්ලමින් අපි අපේ ප්‍රශ්න මෙසේ ඉදිරිපත් කරමු.

  1. ටීචර්ගේ පර්ස් එක නැතිවීමෙන් ප්‍රින්සිපල් නෝනාට මෙපමණ රිදුනේ ඇයි?
  2. චංචලාට ගැසූ විට මලිත් අඬන්නේ ඇයි?
  3. පර්ස් එක නැති කරගත් ටීචර් එම අධ්‍යාපන කලාපයේ සුවිශේෂ ගුරුවරියක්ද?
  4. ප්‍රින්සිපල් නෝනා පණිවිඩයක් දුන් සැණින් පොලිස් ජීප් එක පාසලට පිඹගෙන එන්නට තරම් මේ ප්‍රශ්නයේ ඇති විභවය කුමක්ද?
  5. පොලිසිය භය ප්‍රින්සිපල් නෝනාට ද නැත්නම් ටීචර්ටද?
  6. මිල්ලනිය පාසල, එහි ප්‍රින්සිපල් නෝනා, එහි ටීචර් අම්මා, මිල්ලනිය පොලිසියේ අදාළ රාළහාමිලා සහ අසරණ ඕ.අයි.සී. සම්බන්ධයෙන් ආණ්ඩුව ගැනීමට අදහස් කරන පියවර කුමක්ද?

මිල්ලනිය ප්‍රාථමික පාසලේ සිදු වූ පළමුවන අපහරණය මෙය නොවන බව අපගේ විශ්වාසයයි. මෙබඳු අපහරණ මේ රටේ අනාථ නිවාස තුළ ද බහුලව සිදුවේ. එහෙත් එක සිද්ධියක් පත්තු වූ කල සෙසු සිදුවීම් සියල්ලම එක වැලටම හෙළිවේ. මිල්ලනිය ප්‍රාථමික පාසලේ අපහරණ සිද්ධිය විදේශ මාධ්‍යවල ද පළවී තිබුණි. එය ජාත්‍යන්තරය ඉදිරියේදී මේ රට තවදුරටත් හෑල්ලු වීමකි. ළමයින්ගේ අයිතිවාසිකම් ගැන නොතකන රටවල් ජාත්‍යන්තරය විසින් ගණන් ගනු ලබන්නේ නැත. සමහරවිට ඊළඟ සිද්ධියකදී පාසල් දරුවන් කිහිපදෙනකු ජීප් එකකට රිංගවා ගන්නා මිල්ලනිය පොලිසිය ආයුධ පෙන්වීම සඳහා ඒ ළමයි ගෙනයෑමට ඉඩ තිබේ. මෙන්න මෙතැනට කලින් මේ තිරශ්චීන වැඩපිළිවෙළ නවත්වා අදාළ පොලිස් නිලධාරීන්ට සහ ප්‍රින්සිපල් නෝනා – ටීචර් ඩබලට දඬුවම් පැමිණවීම රජයේ වගකීම ය.

advertistmentadvertistment
advertistmentadvertistment