මෙරට මුල්ම මැයි රැලිය පැවැත්වූ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ

95

1933 මැයි 1 දින ලංකා කම්කරු සමිතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා මංගල මැයි දිනය සංවිධානය කළේය. තිස්දාහකට අධික කම්කරු පිරිසක් නියෝජනය කළ මෙම මැයි දිනය මෙහෙයවූයේ අසහාය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාය. මෙතුමා ඉපදුණේද මැයි 1 වැනිදාය. මැයි රැලිය පැවැත්වූයේ කොළඹ මහ නගර සභා පිට්ටනියේදීය. එහි මුලසුන හෙබවූයේ ඒ. ඊ. ගුණසිංහ මහතාය.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මැද කොළඹ මන්ත්‍රීවරයා ලෙස 1931 මැයි මාසයේ මැතිවරණයෙන් තේරී පත්විය. මේ අවස්ථාව ඉතාමත්ම වැදගත් වන්නේ මේ රටේ වැඩ කරන කම්කරු ජනතාවටය. අද වැඩකරන ජනතාව භුක්ති විඳින සේවක මූලික අයිතිවාසිකම් දිනාදුන් වෘත්තීය සමිති නායකයා එතුමා වීම ඒ වැදගත්කමට හේතු වන්නේය.

මිනිසුන් මෙතරම් වහල් බැමිවල බැඳ තැබීම අසීරුය. එහෙත් සදු පාලකයා ඒ ගැන නොසිතා කටයුතු කළේ යටත්විජිතයක් බවට පත්කරගත් ශ්‍රී ලංකා භූමියේ සාරයත් ශ්‍රී ලංකාවාසීන්ගේ ශ්‍රමයත් හැකිතාක් දුරට සූරාගෙන තම රටට ගෙනයෑමේ මූලික අරමුණ තිබුණු බැවිනි. සුදු අධිරාජ්‍යවාදීන් කොතෙක් දරදඬු වුවද වහල් කම්කරුවා විලංගු කඩාගෙන වර්ජන කරමින් නැඟීසිටි අවස්ථා බොහොමයක් විය.

බි්‍රතාන්‍යයන් සතුව තිබූ විශාලතම මුද්‍රණ ආයතනය වූ ‘කේව්’ ආයතනයේ කම්කරුන් කළ වැඩවර්ජනය ද තවත් එවැනිම අවස්ථාවකි. එහෙත් මේ සියලුම අවස්ථා අසාර්ථක විය. පාලකයන් මේවායින් ජය ලැබූහ. සටන් මෙහෙයවූවෝ දඬුවම් ලැබූහ. ඔවුන්ට ලබන්නට සිදුවූයේ ඉන්මතු වෙනත් කම්කරුවකු තුළ එවන් ක්‍රියාවකට ඇතිවන ධෛර්යය සම්පූර්ණයෙන් නැති වන කුරිරු, දරුණු දඬුවම්ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස 1910 සේවයේ යෙදී සිටි ගුණසිංහ මහතා වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කළේ මෙම වාතාවරණය පසුබිම් කරගෙනය.

1922 සැප්තැම්බර් 2 වැනිදා ගුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ මුල්ම වෘත්තීය සමිතිය ආරම්භ කළේය. ලංකා කම්කරු සමිතිය නමින් මෙම වෘත්තීය සමිතිය ආරම්භ කළ ගුණසිංහ මහතා කම්හලෙන් කම්හලට වැඩබිමෙන් වැඩබිමට වසරක් ගතවන්නට පෙර ලංකා කම්කරු සමිතිය ශක්තිමත් කළ එතුමා, අවුරුද්දක් ඇතුළතදී එකම මොහොතක හැම වැඩබිමකම, කම්හලකම කම්කරුවන් බස්සන සමස්ත මහා වැඩවර්ජනයක් දියත් කළේය. සුදු පාලකයන්ගේ යකඩ අඩිතාලම දෙදරවන්නට එම වර්ජනය සමත්විය. 20,000 කට වඩා කම්කරුවන් එදා පාරට බැස්සාහ. සියලු කම්හල් වැඩබිම් පරාජය භාර ගත්හ. ප්‍රථමයෙන් ලංකා කම්කරු ඉතිහාසයේ සේවක අයිතීන්

ගණනාවක් ලබාගන්නට සමත්වූ වැඩවර්ජනය එයයි. සුදු පාලකයන් කම්කරු සහනදායී කොමිසමක් පතකළේ එම වැඩවර්ජනයෙන් අනතුරුවය. පඩි වැඩිවීමක්, දින 5 1/2 සතියක්, වාර්ෂික නිවාඩු, පාර්තෝෂිත ගෙවීම්, විශ්‍රාම වැටුප්, වෛi ආධාර, අතිකාල දීමනා ආදී අයිතිවාසිකම් රාශියක් දිනා ගැනීමට එම සටන සමත් විය.

අනතුරුව ගුණසිංහ මහතා රටපුරා ආයතනයෙන් ආයතනයට යමින් ලංකා කම්කරු සමිතියේ ශාඛා පිහිටුවීම සහ රැස්වීම් පැවැත්වීම කළේය. ඒ ඒ ආයතනවල වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට මහත් ශක්තියක් විය. වැඩවර්ජන වැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවීය. ගුණසිංහ මහතා ඇවිත් ගියා යැයි යන ආරංචිය පමණක් පාලකයන්ට ප්‍රමාණවත් විය. එපමණින් සේවක ප්‍රශ්න සොයා බලා විසඳුම් දෙන්නට තරම් පාලකයෝ උනන්දු වූහ. කම්කරුවන්ට ඡන්ද බලය ලබාදීම ගුණසිංහ මහතාගේ යෝධ අරගලයක් විය. එදා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය හිමිව තිබුණේ ප්‍රභූ පක්ෂයේ අතළොස්සකට පමණි. එය ශ්‍රී ලංකාවේ ජන අනුපාතයෙන් 4% ක පමණ සංඛ්‍යාවකි. ඡන්දය පාවිච්චි කිරීමට උගත් කමක් අවශ්‍ය නැතැයි තරයේ කියාසිටි ගුණසිංහ මහතා, ඡන්දය පාවිච්චි කිරීමේදී නූගත් වැසියන් වුව ද කල්පනාකාරීව එය ඉටු කරනු ඇතැයි පෙන්වා දුන්නේය.

මේ අනුව දුප්පත්, උගත්, ජාති, ආගම්, කුල, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සෑම මනුෂ්‍යයකුටම ඡන්ද බලය දිය යුතු යැයි ගුණසිංහ මහතා 1927 ඩොනමෝර් කොමිසම ඉදිරියේ අභීතව එඩිතරව කරුණු පැහැදිලි කළේය. 1928 දී ලංකා කම්කරු පක්ෂය ආරම්භ කරමින් ගුණසිංහ මහතා දුප්පත් පන්තිය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළේය. රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ගුණසිංහ මහතා, ලෝක කම්කරු දිනය ලංකාවට හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ මැයි දිනය ආරම්භ කළේය. 1933 මැයි 1 දින ලංකා කම්කරු සමිතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා මංගල මැයි දිනය සංවිධානය කළේය. තිස්දාහකට අධික කම්කරු පිරිසක් නියෝජනය කළ මෙම මැයි දිනය මෙහෙයවූයේ අසහාය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාය. මෙතුමා ඉපදුණේද මැයි 1 වැනිදාය. මැයි රැලිය පැවැත්වූයේ කොළඹ මහ නගර සභා පිට්ටනියේදීය. එහි මුලසුන හෙබවූයේ ඒ. ඊ. ගුණසිංහ මහතාය.

ඇඟබද්ද අහෝසි කිරීමේ සටන ද ගුණසිංහ මහතාගේ සටන් ව්‍යාපාරයේ ගලේකෙටූ සිහිවටනයකි. තරුණ විය පසුකළ සෑම රටවැසියකුගෙන්ම වසරකට රුපියල් ඇඟබද්දක් අයකිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළේය. මෙය තමන් උපන් රටේ ජීවත්වන, වෙනත් රටකට ගෙවන අසාධාරණ, අවනීතික කප්පමක් බව පෙන්වා දුන් ගුණසිංහ මහතා ඊට තදින් විරෝධය පෑවේය. ඇඟබද්ද ගෙවන්නේ නැහැ. මම හිරේට ගිහිල්ලා කළුගල් තළනවා. උඹලා ඒ කුලිය ඇඟබද්දට හිලව් කර ගනිල්ලා යි කියමින් සෝන්ඩර්ස් පෙදෙසේ ගල් වැඩපළේ ගල් කැඩුවේය. ගල් කැඩීමට එන කම්කරු ජනතාව එන්න එන්න වැඩිවිය. ඒ හේතුව නිසා පර සුද්දන්ට ගල් කැඩීමට දෙන ආයුධ කොළඹ නගර සභාවට දීමට නොහැකි විය. 1924 දී කොළඹ මහ නගර සභාවෙන් ඇඟබද්ද ඉවත් කිරීමට සිදුවිය. 1925 දී මුළු ලංකාවෙන්ම ඇඟබද්ද නැති කිරීමට සිදුවිය.

සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කිළිපොලන සටන් මෙහෙයවූ ගුණසිංහ චරිතය අපේ රටේ වෘත්තීය සමිති නායකයන්ට ආදර්ශයක් විය යුතු චරිතයකි. අදත් වෘත්තීය සමිති අරගල සහ ජාතික අරගල සිදුකරන්නේ කම්කරු ජනතාවගේ යහපතට නොව තම තමන්ගේ දේශපාලන වාසියට බව රටම හඳුනාගෙන ඇත.

විජිත කදිරිගොන්න
ලංකා කම්කරු සමිතියේ නායක

advertistmentadvertistment
advertistmentadvertistment