ප්‍රදීපාගේ සුපෙම් හැඟුම් අද

75

ප්‍රදීපා ධර්මදාස කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ ස්වීය ගමනක් ඇති අනන්‍ය කලාකාරිනියක්. 1982 දී කලා ක්ෂේත්‍රයේ ඇය සිය ගමන පටන් ගත්තේ වේදිකාවෙන්. ඒ සමගම කලාභූමී රංග ශිල්ප ශාලිකාව හරහා ඈ සංගීත ක්ෂේත්‍රයටත් පිවිසෙනවා. එදා පටන් අද දක්වා ඇය වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙසත් ගායිකාවක ලෙසත් කලා ක්ෂේත්‍රයේ සනිටුහන් කළේ ස්වීය ලකුණක්. දෙන්නෙක් නෑ. ඒ තමයි ප්‍රදීපා ධර්මදාස. සංගීත ක්ෂේත්‍රයේ දශක හතරක් තුළ නොනිමි ගමනක් ඔස්සේ හෙමිහිට හෙමිහිට ලොකු දුරක් පැමිණි ප්‍රදීපා දැන් නැවතත් මදක් නතර වී ආපසු හැරී ඒ හෙමින් ගමනේ හැඩ බලනවා. නවාතැන ‘සුපෙම් හැඟුම්. අද ඒ ගැන ඈ මෙන්න මෙහෙම කතා කරනවා.

“මම අවසාන වතාවට ප්‍රසංගයක් පැවැත්වුවේ ‘හැන්දෑවට කලින් එන්න. කියලා මීට වසර 12කට කලින්. ඊට පස්සේ පහුගිය කොරෝනා කාලේ මට පුළුවන් වුණා විවේකීව ඉතා හොඳ ගීත ටිකක් එකතු කරගන්න. මේ ඔක්කොම සුභාවිත ගීතය අතරට ගැනෙන ඉතා හොඳ ගීත. අද කාලේ කැසට් පට කරලා වැඩකුත් නෑ. සංගත තැටි නිකුත් කරල වැඩකුත් නෑ. මට හිතුණා මේ ගීත ටික එකතු කරලා ප්‍රසංගයක් සංවිධානය කරන්න. අන්න ඒකෙදි මේ අවස්ථාව මම යොදා ගත්තේ එකක් ජනවාරි 26 වෙනිදට මගේ උපන්දිනය යෙදෙනවා. අනිත් එක මගේ කලා ජීවිතයට අවුරුදු හතළිහක් සම්පූර්ණ වෙනවා. ඔය කාරණා ඔක්කොම එකතු කරලා තමයි ජනවාරි 21 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදි ‘සුපෙම් හැඟුම්. නමින් ප්‍රසංගයක් පවත්වන්න කල්පනා කළේ.”

ප්‍රදීපාගේ සුපෙම් හැඟුම් අද

● මට මතක විදිහට ගායිකාවක් හැටියට ක්ෂේත්‍රයට එන්න පෙර ඔබ වේදිකාවට පැමිණියා…?

“ඇත්තටම 1983 පාසල් අවධියේදීමනේ මම සෝමලතා සුභසිංහ මහත්මියගේ නාට්‍ය පාසලේ ඉගෙනගෙන නාට්‍යවලට ඇතුල් වන්නේ. එතුමියගේ විකෘති” සඳ කිඳුරු” මුහුදු පුත්තු වගේ නාට්‍යවලින්. මම ගායනයට ශික්ෂණය ලැබුවේ නාට්‍යවලදී තමයි. කොහොමත් මට ඒ කාලේ තිබුණ ගායන හැකියාව නිසාම සුවිශේෂී ගීත නාටකවල චරිත ලැබුණා. ඒ හැකියාව හඳුනාගත් නිසා තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එතුමන්ගේ වැඩවලට මාව දායක කර ගන්නේ.”

● එම ගීතයෙන් පසු ප්‍රදීපා සංගීත ක්ෂේත්‍රයේ ගායිකාවක් ලෙස 1986 සිට වෙනම ගමනක් ආරම්භ කළ හැකි හැටි අපට මතකයි…

“මට ආචාර්ය රෝහණ වීරසිංහයන් වැනි ගුරුවරයකුගෙන් ලැබුණු ආලෝකය හරිම විචිත්‍රයි. මගේ නිර්මාණවලට එක් පැත්තකින් කේමදාසයෝ ආලෝකය සැපයුවා වගේම රෝහණ සර්ගෙන් විචිත්‍රවත් තනු රාශියක් ලැබුණා. මගේ වාසනාවට හොඳ පද මාලාවන් ලැබුණා. සමහර පදමාලාවන් මේ රටේ සමාජ දේශපාලන සංස්කෘතිය ප්‍රශ්න කරන හරබර විවේචනයන්. ඒවා ප්‍රබල තනු තුළින් හා සංගීතයෙන් රසවත් වෙලා සමාජගත වුණාම සමාජය ඒ නිර්මාණ දයාබරත්වයෙන් වැළඳ ගත්තා. ඒ නිර්මාණ තුළින් සමාජයට ගියපු පණිවිඩයේ ප්‍රබල බව නිසාම ඇතැම් ගීත මාධ්‍යයේ ප්‍රචාරය වීම වාරණයට ලක්වුණා…”

“ඇත්තටම අද ගීත කියලා එළියට එන්නේ ශිෂ්ට සමාජයකට අනුමත කරන්න බැරි කුණුහරුප. ලාභ සුලභ යෙදුම්” වචන” සහිත අවර ගණයේ හෑලි. නිර්මාණ කියන්න බෑ කර්ණකටුක ඝෝෂාවන් විතරයි. ඒවා ඇහෙනකොට එදා අපේ නිර්මාණ තහනම් කළේ ඇයි කියලා දුකක් දැනෙනවා. කොහොම වෙතත් අපි වෙනස් වුණේ නෑ. විශේෂයෙන් මම කලා ක්ෂේත්‍රයේදී ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. මම කවදාවත් අනුන්ගේ ගීත කියලා. සල්ලි හොයන්න ලාබ හොයන්න කියලා විවෘත වේදිකාවල්වල නැගලා සිංදු කියලා නෑ. සල්ලි පස්සේ දුවලා නෑ. අවර ගණයේ නිර්මාණවලට දායක වෙලා නෑ… ඒ සතුට මට තියෙනවා. අපේ නිර්මාණ වෙළෙඳ භාණ්ඩ වුණේ නෑ. හැබැයි ඉතින් අපි රැක ගත්ත හොඳ නමට” ප්‍රතිපත්තිගරුක කලාවට සමාජයෙන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත්ද කියන එක ගැන මට දුකක් ඇතිවුණා. විශේෂයෙන්ම මේ ප්‍රසංගයට අනුග්‍රාහකත්වය හොයන්න වෙහෙසෙන වෙලාවේ…”

● ඔබ අනුග්‍රාහකයන් හොයන්න වෙහෙසුණාද. යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වුණ තරමට ලැබුණේ නෑ නේද..?

“නැහැ මම කිව්වේ අපි වෙළෙඳ භාණ්ඩ වෙලා නැහැනේ. අපි මේ රටේ සුභාවිත ගීතය රැකගන්න අපමණ වෙහෙසක් දරමින් කලාවේ ශික්ෂණය මෘදුගුණය හා යහගුණය ආරක්ෂා කරන අය. අපි වගේ තව කීදෙනාද ඉන්නේ. කතා කරනකොට නම් කියනවා සමාජයට යහපත් දේ කරන්න” සමාජය සුමගට හරවන්න” මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්න ඔය වගේ ලොකු ලොකු කතා. මම කියන්නේ අපි අපේ කොටස කරලා තියෙනවා. ඔහොම කියන අය ඒ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. ප්‍රසංගයට උදව් කරන්න කියලා ආයතනවලට ගිහින් කියනකොට ලැබිච්ච සමහර ප්‍රතිචාර නිසා ඇස්වලට කඳුළු ආවා. මම හිඟා කන්න ගියේ නෑ. යහපත් දෙයකට දායක වෙන්න කියලා කිව්වේ…”

“කොහොම වුණත් අපි මේ ප්‍රසංගය කරනවා. මා සමග මේ ප්‍රසංගයට විශාරද එඩ්වඩ් ජයකොඩි” රූකාන්ත” කසුන් කල්හාර හා රවීන් කනිෂ්ක යුග ගායනයෙන් දායක වෙනවා. සංගීතය මගේ ගුරු රෝහණ වීරසිංහයන් සපයනවා. නර්තනයෙන් චන්දන වික්‍රමසිංහ මේ ප්‍රසංගය වර්ණවත් කරනවා. කථනයෙන් ප්‍රසංගය මෙහෙයවන්නේ සමන් අතාවුදහෙට්ටි අයියා.

● ‘සුපෙම් හැඟුම්. ගීතය පවා පරණ නිර්මාණයක් නේද..?

“ඔව්… කපිල කුමාර කාලිංග අයියගේ.

මම ගායනා කළේ ලක්ෂ්මන් විජේසේකරයන් සමග. ඇත්තටම ඔබ වැනි මාධ්‍යවේදීන් අහනවා ප්‍රසංගය සඳහා ඇයි පැරණි නිර්මාණ යොදාගත්තේ කියලා. මීට අවුරුදු දොළහකට කලින් කරපු ‘හැන්දෑවට කලින් එන්න. ප්‍රසංගයට මම හුඟක්ම ගත්තෙ අලුත් ගීත. ඒ වෙලාවේ අපේ රසිකයෝ කියපු කතාවක් තමයි… ‘අනේ අපි ආස ඔයාගේ පරණ සිංදුවලට. කියන එක. ඉතින් මම කල්පනා කළා මේ ප්‍රසංගය බලන්න එන රසිකයෝ යම් මුදලක් වියදම් කරලා එන්නේ උපරිම රසඥතාවක් ලබන්න. පැරණි සින්දු ගොඩක් යොදාගත්තේ ඒකයි. අලුත් සිංදු කීපයකුත් තියෙනවා. අනිත් එක මට උවමනා වුණා මීට අවුරුදු තිහකට විතර ඉස්සර කියපු ගීත මට ඒ මිහිරෙන්ම අදත් කියන්න පුළුවන්ද කියන එක.

අනිත් එක අද සින්දු අලුතෙන් කරලා ජනප්‍රිය කරන්න බැහැ. කැසට් නෑ. සීඩී විකිණෙන්නේ නෑ. බොහෝ වෙලාවට මගේ අලුත් නිර්මාණ එළියට එන්නේ pradeepadarmadasa.com කියන youtube channel එකෙන්. මේ ප්‍රසංගය සඳහා මම පරණ ගීත ගොඩක් යොදා ගත්තේ රසිකයන්ගේ ඉල්ලීම මත. මට මේ ප්‍රසංගයට හුඟක්ම උදව් කරන්නේ මගේ ආදරණීය රසිකයෝ. මේක ප්‍රවේශපත්‍ර මත පැවැත්වෙන ප්‍රසංගයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා රසිකයෝ මගේ කලාව වෙනුවෙන් අවුරුදු දොළහකට පස්සේ ප්‍රවේශපත්‍රයක් රැගෙන ප්‍රසංගය නරඹන්න පැමිණෙයි කියලා.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment