ක්‍රිකට් නැගෙන ජපානයට අපේ නැගෙන කණ්ඩායම – දෙරට අතර ක්‍රිකට් සම්බන්ධතාවය වර්ධනයට මේ සංචාරය වැදගත් -ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා

269

ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම ජපානයේ තරග සංචාරයක් සඳහා මැයි මසදී සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

මෙම තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටක් වන ජපාන ජාතික කණ්ඩායම සමග විස්සයි-20 තරග 5 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන ජපාන ජාතික කණ්ඩායම ලබන ජූලි මාසයේදී නැගෙනහිර ආසියානු කලාපීය අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයට සහභාගිවීම සඳහා වන සූදානම, ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහි තරගාවලියේදී හොඳින් ලබාගත හැකි බව ජපාන ක්‍රිකට් සංගමයේ විශ්වාසය වී තිබේ.

“මෙම පියවර ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහාය වීමට අරමුණු කරගෙන ගනු ලැබූ අතර ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ජපාන ක්‍රිකට් සංගමය අතර පවතින සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු වීමට ඉවහල් වනු ඇති බව මා විශ්වාස කරනවා” යැයි නැඟී එන කණ්ඩායම ජපානයට යැවීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම මැයි මස 08 වැනි දින ජපානය බලා පිටත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment