මොනරාගල සිසුහු 3ක් ජල රකුසාට බිලි වෙති

1204

බුත්තල, කටුගහගල්ගේ වැවේ දිය නෑමට ගිය උසස් පෙළ සිසුන් තිදෙනකු වැවේ ගිලී ජීවිතක්‍ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් නිසා ප‍්‍රදේශවාසීහු දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මහානාම ජාතික පාසලේ අපොස උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි කේ. ජී. ගිමාෂ් කෞෂාන් (19), රන්දිල් තාරුක (19) සහ ආර්. එම්. ධනංජය දේශාන් (18) යන සිසුන් තිදෙනායි.

මෙම සිසූහු මොනරාගල නගරය ආසන්නයේ පිහිටි සිරිගල, බටුගම්මන, රත්ණපිටිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝය.

පෙරේදා (14 දා) උදේ ඔවුන් තිදෙනා යතුරු පැදි දෙකකින් නිවෙස් වලින් පිටව ගොස් තිබුණේ තම මිතුරකුගේ නිවසට යන බව දෙමාපියන්ට පවසා බව පොලිසිය කියයි.

ඔවුන් සවස් වනතුරු නිවෙස් වලට නොපැමිණීම නිසා දෙමවුපියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි.

බුත්තල කටුගහගල්ගේ වැව අසල යතුරුපැදි දෙකක්, හිස් වැසුම් තුනක් සහ ඇඳුම් බෑගයක් තිබෙනු දැක ඇති ප‍්‍රදේශවාසියකු ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු ඊයේ (15 වැනිදා) බුත්තල පොලිසියේ නිලධාරීන් ප‍්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වැව් පතුලේ තිබූ තරුණයන් තිදෙනාගේ මළ සිරුරු ගොඩට ගෙන තිබේ.

මියගිය සිසුන් තිදෙනාගේ හදිසි මරණ පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතව තිබිණි.

බුත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්. එම්. ජේ. බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ  බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment