යාපනය තෙවැනි වරටත් ආධිපත්‍යය පතුරවයි

239

එල්පීඑල් පිටියේ සිය ආධිපත්‍යය මොනවට තහවුරු කරමින් අඛණ්ඩව තෙවන වරටත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පසුගිය අවස්ථා දෙකේදීම ශූරයන් වූ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත් විය.

මෙවර තරගාවලියේ මූලික වටයේ පළමු ස්ථානය හිමි කර ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ දෙවන ස්ථානය හිමිකර ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවති එම තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 24ක ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.

නුවර කණ්ඩායම ලබාදුන් ලකුණු 144ක ඉලක්කය හඹා යමින් සිටියදී යාපනය ඉනිමේ 11 වැනි පන්දුවාරය නිමා වන විට ක්‍රීඩාවට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට යාපනය ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 98 ක් රැස් කරගෙන සිටියහ.

ඒ අනුව ඔවුන් හෙට (23 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් සමඟ පැවැති තරගයෙන් පරාජය වූ නුවර කණ්ඩායම ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමග අද තරග වැදීමට නියමිතය. ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයේ යාපනය කණ්ඩායමේ ප්‍රතිවාදියා වනු ඇත.

ඊයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත් අතර එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 35ක් ලබා ගත්තේය.

හතරේ පහර 5ක් සමගින් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි පැතුම්ගේ ඉනිම නිමා කිරීමට විජේකාන්ත් වියස්කාන්ත් සමත් වූයේය.

10 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී පැතුම් දැවී යන විට නුවර කණ්ඩායම ලකුණු 69ක් ලබා තිබුණි. පැතුම්ට පසුව නුවර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් වූයේ ලකුණු 26ක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් සහ ලකුණු 22ක් ලබා ගත් නජිබුල්ලා සර්ධාන් ය.

නුවර කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වූ විජේකාන්ත් වියස්කාන්ත් ලකුණු 30 කට කඩුලු 3ක් දවාගත් අතර ඔහුට දඟ පන්දුවෙන් අනගි සහායක් ලබාදුන් මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්හ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන ඇන්ඩ් ෆ්ලෙචර් ලකුණු 2කට දවා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත්වීම නුවර කණ්ඩායමට ප්‍රබල පාඩුවක් විය.

ලකුණු 143ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පළමු පන්දුවාර 4 නිමාවන විට ලකුණු 52ක් ලබා සිටියේය.

ඉසුරු උදාන ක්‍රියාත්මක කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පළමු පන්දු වාරය නිමා වන විට ඔවුන් ලකුණු 18ක් ලබා ගත් අතර රහමනුල්ලා ගුර්බාස් ඉනිමේ දෙවෙනි පන්දුවටම 6 පහරක් එල්ල කරමින් සිය ආක්‍රමණකාරී පිතිහරඹය විදහා දැක්වීය.

කෙසේ වෙතත් නුවර කණ්ඩායමේ කාලොස් බ්‍රැත්වයිට් යාපනය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේම කඩුලු දවා ගනිමින් තම කණ්ඩායමට ජීවයක් ලබා දීමට සමත් වූවද අනතුරුව පිටියට එක් වූ දුනිත් වෙල්ලාලගේ සහ සධීර සමරවික්‍රම ඉනිම ගොඩනැගීමට සමත් වූහ.

තරගය නතර කරන විට දුනිත් ලකුණු 19ක් සහ සධීර ලකුණු 15ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ලකුණු සාරාංශය

නුවර කණ්ඩායම 143/8 (20)

යාපනය කණ්ඩායම 98/3 (11)
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment