යුක්තියෙන් බේරෙන්න මත් ජාවාරමෝත් එනවා – පුනරුත්ථාපනයට භාර ගැනීමට පෙර රැඳවියන් ගැන පසුවිපරමක්

236

රජය මගින් පාලනය කරන කන්දකාඩු ඇතුළු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහා මතට ඇබ්බැහිවූවන් ඇතුළත් කර ගැනීමේදී එම රැඳවියන්ගේ කල්ක්‍රියාව පිළිබඳ පසුවිපරමක් සිදුකර පුනරුත්ථාපනයට භාර ගන්නා බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පතිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙන යුක්තිය මෙහෙයුමට බියෙන් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද මතට ඇබ්බැහිවූවන් ලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට පැමිණ කලහකාරී සිද්ධීන්වලට සම්බන්ධවූ බවට වාර්තා වන බවද ඒ මහතා කීය.

කන්දකාඩු, සේනපුර, වට්ටුවාන ප්‍රදේශවල පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවතින බවත් එම මධ්‍යස්ථානවලට පළමු වතාවට පැමිණෙන අය පමණක් භාරගැනීමට උපදෙස් දී ඇති බවත් ඒ මහතා පැවසීය. පුද්ගලයින් දෙවැනි, තුන්වැනි වතාවේ එම මධ්‍යස්ථානවලට පැමිණ සිටින අතර ඔවුන් කල්ලි හදාගෙන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන කටයුතුවලට බාධාවන ආකාරයෙන් ක්‍රියා කර ඇති බව පෙනී ගොස් තිබූ බව ද ඒ මහතා කීය. එමෙන්ම මිනීමැරුම්, මංකොල්ලකෑම් වැනි දරුණු ගණයේ චෝදනා තිබෙන අයද මධ්‍යස්ථානවලට භාර නොගැනීමට තීරණය කර ඇති බව ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කන්දකාඩු, සේනපුර, වට්ටුවාන පුනරුත්ථාපන මධ්‍යස්ථානවල මේවනවිට 1000ක පමණ පිරිසක් පුනරුත්ථාපනය ලබන බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment