යුක්රේන – රුසියානු දෙවැනි වටයේ සාම සාකච්ජා එකඟත්වයකින් තොරව අවසන්

146

දැනට යුක්රේනය තුළ පවතින යුක්රේන හා රුසියානු හමුදාවන් අතර සටන් නවතා දමා සටන් විරාමයක් ඇති කරගැනීමේ අරමුණින් පෙරේදා (03දා) රාත‍්‍රියේ බෙලාරුස් රාජ්‍යයේදී ඇරඹි යුක්රේන හා රුසියානු නියෝජිතයන් අතර දෙවැනි වටයේ සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් වී තිබේ.

බෙලාරුස් රාජ්‍යයේ බ්‍රෙස්ට් කලාපයේ පැවති මෙම සාකච්ජා වටය පැය ගණනක් පැවතියද දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති අතර මේ හේතුවෙන් පවතින යුක්රේන හා රුසියානු හමුදාවන් අතර සටන් තවත් දරුණු මට්ටමින් ඇවිලීමේ අවදානමක් පවතින බව විචාරකයෝ පවසති. ‘යුක්රේනය හා රුසියානු නියෝජිතයන් අතර දෙවැනි වටයේ සාම සාකච්ඡා පෙරේදා පැවතුණා. එහෙත් යුක්රේනය බලාපොරොත්තු වන මට්ටමේ ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට තවමත් හැකි වූයේ නැහැ’’ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ මයිකයිලෝ පොඩොල්යක් පවසා තිබේ. සාකච්ජා සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු පිළිබඳ ඇමැති සර්ගෙයි ලැව්රෝව් පවසා ඇත්තේ සාම සාකච්ජාවලදී යුක්රේනය සමග ඇති කරගනු ලබන ඕනෑම සාම ගිවිසුමකට යුක්රේනය නිරායුදකරණය කරන බවට වන පොරොන්දුවක් ඇතුළත් විය යුතු බවයි.

යුක්රේනය නොබැඳි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු අතර නේටෝ සංවිධානයට බැඳීමට ඇති අදහස වෙනස් කරගත යුතු බවද රුසියානු විදේශ ඇමැතිවරයා කියා තිබේ. මේ අතර යුක්රේනය පවසනුයේ සාම සාකච්ඡාවලදී සිය රට කඩිනම් සටන් විරාමයක් ඇති කරගැනීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම රුසියානු හමුදාවන්ගේ ප‍්‍රහාරවලට ලක්ව තුවාල ලැබ සිටින යුක්රේන ජාතිකයන් මුදා ගැනීමේ මානුෂීය මාවතක් සකස් කිරීම මෙන්ම වහාම රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත් කරගැනීම යුක්රේන රජයේ ඉල්ලීම් අතර වේ. දැනට පවතින සටන්වලින් තුවාල ලබන යුක්රේන සිවිල් වැසියන් මුදා ගැනීමේ මානුෂීය මාවතක් පැවතිය යුතු බවට යුක්රේනය කර ඇති යෝජනාවට රුසියාව එකඟ වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment