රටේ උතුර – නැගෙනහිර සිංහල ජනයාට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

1186

උතුර නැගෙනහිර ප්‍රදේශ මේ රටේ සිංහල ජනයාට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඊයේ (25දා) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී පැවසීය.

අතීතයේ සිංහල පවුල් 25,000 ක් පමණ උතුර නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වුවත් අද එක පවුලක් හෝ එම පළාත්වල නැති බව ද ඔහු සඳහන් කළේය.

සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25දා) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නායකත්වයෙන් රටපුරා පිහිටි බෞද්ධ සංවිධාන ඒකරාශි කිරීමට පැවැති සමාරම්භක රැස්වීම අරඹමිනි. මේ අවස්ථාවට රටපුරා විසිරී ඇති බෞද්ධ සංවිධාන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහ මහා සංඝරත්නය එක්ව සිටියහ.

ජනාධිපතිතුමා පසුගිය දා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබුණා. සිංහල ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට මමත් අවස්ථාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාව අපට ලැබෙයි කියා අපේක්‍ෂා කරනවා. ඒ සඳහා අප සහභාගි විය යුත්තේ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇතිවයි. ඒ

රැස්වීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ මහා සංඝරත්නයත් නියෝජනය විය යුතු බවද සරත් වීරසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.

උතුර නැගෙනහිර ප්‍රදේශවලින් පිට තමයි දෙමළ ජනතාවගෙන් සියයට 52 ක්ම ජීවත් වන්නේ. සිංහල ජනයා මහ ජාතිය වුවත් උ/නැගෙනහිර පළාත්වල ඒ අයිතිය අපේ සිංහල ජනතාවට නැතිවෙලා. එසේම එම පළාතේ දිස්ත්‍රික්ක 3 ක කිසිම සිංහල විදුහලක් නෑ. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා සිංහල බෞද්ධ ජනයා ඒකරාශී විය යුතුයි. බෞද්ධ සංවිධාන එකතු විය යුතුයි. මේ සඳහා හැඟීමක් තිබෙන විදේශ රටවල ඉන්න අපේ සිංහල ජනතාවගේ සහාය ද ඉතා වැදගත් වෙනවා. මේ සඳහා ඔවුන්ගෙන් මුදල් එකතු කර ගන්නත් හැකිවනු ඇති බව ද වීරසේකර මහතා කියා සිටියේය.

අතීතයේ සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා රටේ ඒකීයභාවය රැකගැනීම සඳහා නායකත්වය දුන් බවත්, බෞද්ධ ශාසනය රැකෙනු ඇත්තේ රටේ ඒකීයභාවය ආරක්ෂා වුවහොත් බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා – සිංහල බෞද්ධ බලය ඒකරාශී කිරීම සඳහා මේ

රැස්වීම අද කැඳෙව්වා. ඒ සියලු සංවිධානවල සහාය ඇතිව සිංහල බෞද්ධ උරුමය රැකීමට ඉදිරියේදී ශක්තිමත් වැඩපිළිවෙළක් දියත් කරනවා.

මේ රැස්වීම අමතා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු සංඝරත්නය සහ ආචාර්ය නලින්ද සිල්වා, නීතිඥ කණිෂ්ක විතාරණ, සුනිල් චන්ද්‍රකුමාර සහ ආචාර්ය හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කතා කරමින් අදහස් දක්වන ලදී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment