රඹුක්කන පොලිස් වෙඩිල්ලට කෝටි 10ක්  වන්දි ඉල්ලති

378

මියගිය පුද්ගලයා සහ තුවාලකරුවන්  2ක් වෙනුවෙන් වෙන් වෙන්ව නඩු 3ක්

රාජ්‍ය නිලධාරීන් 11කට එකවර නඩු දැමීමෙන් ඉතිහාසගත වන නඩුවක්


පසුගිය අප්‍රේල් 19 වැනිදා පොලිස් වෙඩි වැදී මියගිය රඹුක්කන චමින්ද ලක්ෂාන් මහතාත් තුවාල ලැබූ තවත් දෙදෙනකුත් වෙනුවෙන් පොලිසියෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාද, කෑගල්ල කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද ඇතුළු දහ දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර නීතිපතිවරයා 11 වන විත්තිකරු ලෙස නම් කර ඇත. නීතියේ අනිවාර්ය ප්‍රතිපාදන අනුව ඔහු මෙම නඩු භාරයේ පාර්ශ්වකරුවකු ලෙස නම් කර තිබේ.

මේ යටතේ නඩු තුනක් පවරා ඇත. ඉන් එකක් මියගිය චමින්ද ලක්ෂාන්ගේ බිරිඳ හා දරු දෙදෙනා විසින් පවරා ඇති අතර එමගින් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා තිබේ.

වෙඩි වැදුණු පුද්ගලයකු වන කමල් හේමජිත් කුමාර විසින් රුපියල් දෙකෝටි දෙලක්ෂ අනූහත්දහසක්ද, වෙඩි වැදුණු අවුරුදු පහළොවක දරුවකු වෙනුවෙන් රුපියල් දෙකෝටි දෙලක්ෂ හතළිස් පන්දහසක්ද ඉල්ලා මෙලෙස නඩු පවරනු ලැබූ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඬුල්ලේ නීතිඥ ශ්‍රී ලාල් දයානන්ද මහතා පැවසීය.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ චාමින්ද ලක්ෂාන් නමැත්තා 2022.04.19 වන දින රඹුක්කන පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම් හලට ඉන්ධන ලබා ගැනීමට ගිය අවස්ථාවේ ඉහත නම් කොට ඇති විත්තිකරුවන් විසින් හෝ ඔවුන්ගේ අණ පරිදි චාමින්ද ලක්ෂාන් නමැති අයට වෙඩි තබා ඇති බවත් එම වෙඩි තැබීම හේතුවෙන් ඔහු මිය ගිය බවත්ය.

තවද මහජන ආරක්ෂාව සඳහා මහජන මුදලින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්තව ඉහත කී 1 සිට 10 දක්වා විත්තිකරුවන්ට සහ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියාකළ පොලිස් නිලධාරීන්ට මියගිය අයට නීතියේ ආරක්ෂාව ලබා දීමට අවධානීය යුතුකමක් සහ මුඛ්‍ය වගකීමක් තිබූ බවත් එකී යුතුකම සහ වගකීම 1 සිට 10 දක්වා ඇති විත්තිකරුවන් පැහැර ඇති බවත්ය. ඉහත කී විත්තිකරුවන් සහ ඔවුන්ගේ අණ පරිදි ක්‍රියා කළ ශ්‍රී ලංකා පොලිසියේ ඉහත කී සිද්ධිය වන ස්ථානයට අනුයුක්ත කොට සිටි විත්තිකරුවන් අනීතික සහ කෲර අමානුෂික ලෙස චාමින්ද ලක්ෂාන් යන අයට වෙඩි තැබීමෙන් ඔහුගේ මරණය සිදු කළ අතර එකී අමානුෂික ක්‍රියාව හේතුවෙන් සහ ඔවුන්ගේ නීතිමය පැහැර හැරීම තුළින් පැමිණිලිකරුවන්ට හානි සහ අලාභ වී ඇති බවයි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ ඉහත කී අනීතික කෲර අමානුෂික වෙඩි තැබීම චේතනාන්විත සිදු වූ බවත් නොසැලකිලිමත් පැහැර හැරීම තුළින් සහ හෝ අයුක්ති සහගත නීති විරෝධී ක්‍රියාවක් මගින් බලය ඉක්මවා අසත්භාවයෙන් ද්වේශ සහගතව ක්‍රියා කිරීමෙන් මියගිය අයගේ අයිතීන් උල්ලංඝනය කරමින් මියගිය අයට නීතිය ඉදිරියේ සැපයිය යුතු ආරක්ෂාව කඩ කර ඇති බවටත් ඔහුට නීත්‍යනුකූල ලෙස සැලකීමේ ප්‍රතිපාදනයන්ට එරෙහිව ක්‍රියා කිරීමෙන් නීතියෙන් බැඳී සිටින වගකීමට පටහැනිව ක්‍රියාකර ඇති බවටත් පැමිණිලිකරුවන්ට වූ හානිය අයකර ගැනීමටත් විත්තිකරුවන්ට එරෙහිව පැමිණිලිකරුවන්ට නඩු නිමිත්තක් උපචය වී ඇති බවය.

පැමිණිලිකරුවන්ට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 10ක මුදලක් ඉල්ලා නීතිඥවරුන් මාර්ගයෙන් විත්තිකරුවන් හට 2022.06.17 දිනැතිව නොතිසි යවන ලද බවත්,

එම නොතීසිවල අන්තර්ගතය විත්තිකරුවන් ප්‍රතික්ෂේප කර නොමැති බැවින් විත්තිකරුවන් එකී නොතිසියේ අන්තර්ගතය පිළිගෙන ඇති බවත් ඒ අනුව පළමුවන පැමිණිලිකාරියට රුපියල් මිලියන පනහක් මුදලක් හා අනිකුත් පැමිණිලිකරුවන්ට ගෙවීමට නොමැති බව දැන්වීමෙන් විත්තිකරුවන් ප්‍රතිබන්ධනය වී ඇති බවත් පවසන පැමිණිලිකරුවෝ මෙම නඩුකරයේ සඳහන් දින සිට නඩු තීන්දුවේ දින තෙක් නෛතික පොලිය හා සම්පූර්ණ මුදල ගෙවා නිම වන තීන්දු ප්‍රකාශිත මුදල් මත අමතර නෛතික පොලිය සමග මුළු මුදල් විත්තිකරුවන්ගෙන් එක්ව හෝ වෙන් වෙන්ව අය කරවා ගැනීම සඳහා තීන්දුවක් හා තීන්දු ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් නඩු ගාස්තු සහ අධිකරණයට සුදුසු යැයි හැඟෙන වෙනත් හා වැඩිමනත් සහනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිති.

විත්තිකරුවන් වන්නේ කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කිර්තීරත්න, පො.සැ. (29116) ලක්මාල් කපුකොටුව, පො.සැ (90428) රෝමන් චානක කුමාර, පො.සැ. (69336) සඳරුවන් ගුණරත්න ජයකොඩි, පො.සැ. (42442) සුජිත් නිශාන්ත අස්වැද්දුම, ප්‍රධාන පොලිස් පරික්ෂක කිංස්ලි හේරත් (රඹුක්කන), චන්දන අලහකෝන් (කෑගල්ල දිසාව), මහින්ද ගුණරත්න (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රත්නපුර), සී. ඩී. වික්‍රමරත්න (පොලිස්පති) සහ නීතිපති වෙති. පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් (ගාස්තු නොමැතිව), නීතිඥ ශ්‍රී ලාල් දයානන්ද, දිලුම් ද අල්විස්, නිසාද් වික්‍රමසිංහ යන නීතිඥවරු පෙනී සිටිති. රජයේ පාර්ශ්වයෙන් නීතිඥ නිලන්ත ගුණරත්න මහතා පෙනී සිටින මෙම නඩුවේ ඊළඟ වාරය ලබන පෙබරවාරි 14 වැනිදාට නියම කර තිබේ.

රජයේ නිලධාරීන් 11 දෙනකුට එකවර නඩු ගොනු කිරීම හේතුවෙන් මෙම නඩුව ඉතිහාසගත වන බවද නීතිඥවරු පවසති.

කෑගල්ල – එම්. බී. පහලවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment