රසායනාගාර අපද්‍රව්‍ය කළමනාකරණයට මධ්‍යම පරිසර අධිකාරියෙන් තිරසර ක‍්‍රමවේදයක්…

107

විශ්ලේෂණ රසායනාගාර (Analytical Laboratories) වලින් බැහැරලන අපජලය විධිමත් පරිදි කළමනාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නව වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවනු ලැබ ඇත.

 මෙම නව ක‍්‍රමවේදය මගින් මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රධාන රසායනාගාරය ඇතුළු සියලූම ප‍්‍රාදේශීය රසායනාගාර වලින් ඉවතලන රසායන ද්‍රව්‍ය අන්තර්ගත අපජලය, වඩා විධිමත්ව බැහැර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර අදාළ ක‍්‍රියාවලිය ඉන්සි ඉකෝසයිකල් (INSEE Ecocycle)  පුද්ගලික සමාගම හරහා ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

 මෙම නව ක‍්‍රමවේදය ආරම්භ කිරීමට ප‍්‍රථම මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රධාන රසායනාගාරය ඇතුළු ප‍්‍රාදේශීය රසායනාගාර ජාලය හරහා බැහැර කරන ලද රසායනාගාර අපජලය ප‍්‍රාථමික පිරිපහදු කිරීමකින් පසුව මධ්‍යම පරිසර අධිකාරියේ ඇති අපජල පිරිපහදු පද්ධතිය හරහා බැහැර කිරීමට කටයුතු කරන ලද අතර රසායනාගාර ඝන අපද්‍රව්‍ය ඉන්සි ඉකෝසයිකල් පුද්ගලික සමාගම හරහා බැහැර කිරීම සිදු කරන ලදී. එම ක‍්‍රමවේදය වඩාත් දියුණු කිරීමේ අරමුණින් සිදුකළ අධ්‍යයනයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම නව ක‍්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය.

 පාංශු දූෂණය අවම කිරීම, මතුපිට ජලය සහ ජලජ ජීවීන්ට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සහ විශේෂයෙන් භූගත ජල දූෂණය වැළැක්වීම ආදී වූ පරිසරය කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම මගින් පාරිසරික සංරක්ෂණ ක‍්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

 මෙම නව වැඩපිළිවෙළෙහි සමාරම්භක අවස්ථාව, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ද මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලයේ රසායනාගාර පරිශ‍්‍රයේ දී පසුගියදා පැවැත්විණ.

 විශ්ලේෂණ රසායනාගාර වලින් බාහිර පරිසරයට මුදා හැරෙන රසායනික ද්‍රව්‍ය මිශ‍්‍රිත අපජලය සහ වාෂ්පශීලී අපද්‍රව්‍ය මගින් මිනිසා ඇතුළු මුළුමහත් පරිසරයටම සිදුවන බලපෑම අවම කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන ඇත. එබැවින් ඉදිරියේදී මෙම වැඩසටහන විවිධ ක්‍ෂේත‍්‍ර ආවරණය වන පරිදි පවත්වාගෙන යනු ලබන ”විශ්ලේෂණ රසායනාගාර” වෙත හඳුන්වාදීමටත් මේ සඳහා අදාළ වන උපදෙස් මාලාවක් ඉදිරිපත් කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරියේ ”පරිසර ආරක්ෂණ අංශය” මේ වන විට මූලික කටයුතු සිදුකරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment