රු.300ට 350ට යන්න තිබුණු සහල් මගේ මාධ්‍ය  හමුවෙන් පස්සේ අද පාලන මිලට විකුණනවා – ඩඩ්ලි සිරිසේන

165

“අද දවසේ පාලන මිලට සහල් අලෙවි කරනවා. රුපියල් 220ට ගන්න පුළුවන් විදිහට නෑ. නමුත් සමහර තැන්වල සහල් වැඩි මිලට විකුණනවා. මගේ වැඩ පිළිවෙළින් පස්සේ එදා මාධ්‍ය හමුවෙන් පස්සේ රුපියල් 300ට 350ට යන්න තිබුණු හාල් මිල පාලනය වෙලා තිබෙනවා” යැයි අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද පැවසීය.

“අපිත් නිපුන ව්‍යාපාරයත් හැරෙන්න අනිත් කිසිම වී මෝලක් සහල් මේ මිලට නිකුත් කරන්නේ නෑ. මට පුළුවන් හැම මොහොතකම රජයේ බලධාරීන්ට කිව්වා. නමුත් මේ වෙනකල් කිසිම රජයේ බලධාරියෙක් මේකට මැදිහත් වෙලා නෑ. ඒකෙන් තේරෙනවා රජයට තිබිලා තියෙන්නේ මා පිළිබඳ ප්‍රශ්නයක් විතරයි කියලා. මම පාලන මිලට සහල් දෙන්න ඉදිරිපත් වුණාට පස්සේ රජයේ කවුරුවත් මේ ගැන කතා කරන්නේ නෑ. මාධ්‍ය කතා කරන්නෙත් නෑ.

ගොවීන් සමග සාකච්ඡා කර මෙවර යල කන්නයේ වී මිටිය රුපියල් 10,000ත් – 11000ත් අතර මිලකට ගන්නා බවත්, ගොවීන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට මෙම තීරණය ගන්නා බවත් පැවසූ ඩඩ්ලි සිරිසේන මහතා සහල් නිෂ්පාදනය නොකරන සහල් මෝල් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට කිසිවකු නොමැති වීම ගැන කනගාටු වන බවත් පැවසීය.

දිඹුලාගල ශාසනාරක්ෂක බල බණ්ඩලයේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියන් සහ පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන වෙනුවෙන් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්. ජගත් අරුණ කීර්ති මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා හා ගොවි සංවිධාන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment