රු. 50 ට අඩුවෙන් දේශීය බිත්තර දෙනවා – සංගමය කියයි

172

දේශීය බිත්තරයක් ඊයේ (17 දා) සිට රුපියල් 50 ට අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව කුකුළු ගොවිපළවලින් රුපියල් 45 ට සහ 46 ට වෙළෙඳුන්ට අලෙවි කරන බිත්තරයක් රුපියල් 50 ට අඩු මුදලකට පාරිභෝගිකයාට ලබාගත හැකි බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

පාරිභෝගික අධිකාරිය බිත්තරයට පාලන මිලක් නියම කිරීමත් රජය බිත්තර ආනයනය කිරීමත් නිසා පාරිභෝගිකයන්ට මෙරට බිත්තර භුක්ති විඳීමේ අවස්ථාව නැති වී ගිය බව ද හෙතෙම සඳහන් කළේය. මේ වනවිටත්, කුකුළු ගොවිපළවල නිෂ්පාදන වියදම් අඩු වී නැති බවත් රජය සිදු කළේ බේකරි හිමියන් සැනසීමට බිත්තර ආනයනය කිරීමේ බද්ද අඩු කර ගැනීමක් බවත් ඒ මහතා කියා සිටියේය.

අපි සංගමයක් විදිහට පාරිභෝගිකයාට රුපියල් 50 ට අඩුවෙන් බිත්තරයක් ලබා දීමට තීරණය කළා. දැන් බිත්තර නිෂ්පාදනය වැඩි වෙලා. දෙසැම්බර් මාසයේ බිත්තර අතිරික්තයක් ඇති වෙනවා. එවිට බිත්තරයක් රුපියල් 25 ට, 30 ට ලබා ගත හැකිවේ යැයි සරත් රත්නායක මහතා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment