ලලිත් කොතලාවලගේ මරණ පරීක්‍ෂණ වාර්තාව ඉල්ලා – ජේඑම්ඕට යළිත් නොතීසි

93

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යළිත් නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (22දා) නියෝග කළේය.

කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් මීට පෙරද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කළද එය අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

කොතලාවල මහතාගේ ශරීරයෙන් ලබාගත් කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇතත් ඊට අදාළ වාර්තාව ඔහු වෙත මෙතෙක් ලැබී නොමැති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දන්වා ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැන්වීය.

කොතලාවල මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි ලබාදීම පසුගිය නඩුවාරයේදී අවසන් කෙරුණු අතර මේ වන විට එම මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂිකරුවන් 8 දෙනකු සාක්ෂි ලබාදී තිබේ.

මියගිය කොතලාවල මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජේරත්න හා බම්බලපිටිය පොලිසියේ සැරයන් 8764 විමලරත්න මෙන්ම කොතලාවල මහතා යටතේ සේවය කළ සේවකයන් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ ජූඩ් මාකෝ පෙරේරා, යූ. ඩී. රම්‍යා, සිසිර කුමාර සමරසිංහ, මහින්ද උපසේන වඩුගේ, සුනේත්‍රා කුමාරි රණසිංහ හා දිනේෂ් සඳරුවන් ජයවීර යන අය එසේ සාක්ෂි ලබා දුන්හ.

කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඒ මහතාගේ බිරියගේ සහෝදරියක් වන ෂෙරින් පේෂන් විජයරත්න මහත්මිය බම්බලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර තිබුණි.

කොතලාවල මහතා කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 21 දින මියගොස් තිබූ බවද මරණ පරීක්ෂණයේදී හෙළිවිය.

කොතලාවල මහතා අංක 28 එලිබෑන්ක් පාර කොළඹ 5 ලිපිනයේ පදිංචිව සිටි නමුත් ඒ මහතා යටතේ සේවය කළ කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත ඔහුව අංක 13 ඩික්මන් පටුමග කොළඹ 4 ලිපිනයෙහි පිහිටි නිවසක් වෙත ගෙනගොස් රඳවා තබා ගෙන ඇති බවද සාක්ෂිකරුවන් ප්‍රකාශ කර තිබුණි.

ඒ මහතා යටතේ සේවය කළ කණ්ඩායම් දෙකක් ඔහුගේ දේපළ අත්පත් කරගෙන ඇති බවද එසේ දේපළ අත්පත් කර ගැනීම සඳහා කොතලාවල මහතාව අංක 13 ඩික්මන් පාර නිවසේ තබාගෙන සිට ඇති බවද එම මරණ පරීක්ෂණයේදී සාක්ෂිවලින් වැඩිදුරටත් හෙළිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment