ලෝක ප්‍රකට හොප්කින්ස් සරසවියේ මුල් පුටුවකට ගිය ශ්‍රී ලාංකිකයා රේ.ජයවර්ධන

173
හොප්කින්ස් සරසවිය

ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ප්‍රධානියා ලෙස පත්වීමට ශ්‍රී ලාංකික විද්වතෙක් පසුගියදා සුදුසුකම් ලැබුවේය. තාරකා භෞතික විද්‍යාඥයෙක්, අධ්‍යාපනඥයෙක් හා ලේඛකයෙක් වශයෙන් දැනටමත් තම නම සනිටුහන් කිරීමට සමත්ව ඇති ඔහු මේ වන විට තවත් ප්‍රමුඛ සරසවියක් වන කෝර්නෙල් සරසවියේ කලා හා විද්‍යා අධ්‍යයනාංශයේ පීඨාධිපති ලෙස කටයුතු කරමින් සිටී. රේ ජයවර්ධන නම් වූ මේ විද්වත් ලංකා පුත්‍රයා එළඹෙන ඔක්තෝබර් 15 වන දින සිට නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලෙන් පාසල් අධ්‍යාපනය ඇරඹූ රේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ කොළඹ රාජකීය විදුහලෙනි. අනතුරුව ඔහු අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයෙන් තාරකා විද්‍යාව හා භෞතික විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගන්නේය. ඉන් නොනැවතී 2000 වසරේදී හාවඩ් විශ්වවිද්‍යාලයෙන් තාරකා විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද හිමි කර ගන්නේය.

රේ උපන් හම්බන්තොට ප්‍රදේශයේදී ඔහුගේ පියා ඔහුට රාත්‍රී සඳ පෙන්වා ඒ මත මිනිසුන් ගොඩ බැස ඇතැයි පවසද්දී, මිනිසුන්ට ඕනෑම දෙයක් කළ හැකිය යන සංකල්පය තම සිතෙහි උපන් බව රේ වරක් ප්‍රකාශ කර තිබුණි. අභ්‍යවකාශය වෙත ඔහුගේ සිත ඇදී යෑමට පටන් ගත්තේ එදා පටන් බව හේ පවසයි. එවකට ඔහු වයස අවුරුදු 4ක දරුවෙකි.

එය තවත් උද්දීපනය වී තාරකා විද්‍යා ක්ෂේත්‍රය හදාරමින් ඒ ඔස්සේ මේ සා දුරක් පැමිණීමට ඔහුගේ සිත පෙළඹීමට තවත් විශේෂ පුද්ගලයන් තිදෙනකු හේතු වූ බව ඔහු සඳහන් කරයි. ඉන් පළමුවැන්නා එකල කොළඹ තරුණ තාරකා විද්‍යාඥයන්ගේ සංගමයට උදව් උපකාර කළ ලෝ ප්‍රකට විද්‍යා ප්‍රබන්ධකයකු වූ ආතර් සී. ක්ලාක් මහතාය. දෙවැන්නා ප්‍රකට ජෛව රසායනඥයකු හා නාසා ආයතනයෙහි උපදේශකයකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වූ සිරිල් පොන්නම්පෙරුම මහතාය. මේ දෙදෙනාම තරුණ තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ පරමාදර්ශී චරිත වූහ. රේ ද එම සංගමයේ අග්‍ර සාමාජිකයකුව සිටියේය. ඔහුගේ ලෝකයේ තෙවැනි වීරයා 1993 වසරේ සරසවි සිසුවකුව සිටියදී හමුවූ, එක්සත් රාජධානියේ ගගනගාමියෙකු හා Cosmos නමැති ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවේ රචකයා වූ කාල් සේගන්ය.

ලෝක ප්‍රකට හොප්කින්ස් සරසවියේ මුල් පුටුවකට ගිය ශ්‍රී ලාංකිකයා රේ.ජයවර්ධන

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී රේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ දැක්වූ උනන්දුව කොතරම් ද යත් මිනිසා සඳ මත පා තැබීමේ විසිවන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් තම පාසලේදී එළිදක්වා ගැනීමට සමත්ව ඇත. එහිදී මුද්දර 4ක් නිකුත් කරනු ලැබ ඇති අතර ඒවා රාමු කර ටොරෙන්ටෝහි ඔහුගේ කාර්යාලයේ ප්‍රදර්ශනය කර ඇති අයුරු තවමත් දැකගත හැකිය. එදා මෙදා තුර රේ ජයවර්ධනයන් ආ ගමන්මගෙහි විශිෂ්ට සැමරුම් රැසකි. ඔහු තම ප්‍රථම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ හාවඩ් විශ්වවිද්‍යාලයේ විසිහත් හැවිරිදි සිසුවකුව සිටියදීය. එදා එය නිව්ස්වීක් සඟරාවේ මුල්පිට ඔහුගේ රුවින් සැරසවීමට ද හේතු විය. ඔහු මේ වන විට ඉදිරිපත් කර ඇති පර්යේෂණ පත්‍රිකා ගණන 150 ඉක්මවා ඇතැයි පැවසේ.

රේ ජයවර්ධන, සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති ග්‍රහලෝකවල තොරතුරු ගවේෂණය කරන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (NIRISS) නිර්මාණය කිරීමට උරදුන් විද්‍යාඥයන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු විය. ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමයෙන් පිරිනැමෙන කාල් සේගන් පදක්කම හිමි කරගෙන ඇති ඔහු කැනේඩියානු ගූගන් හයිම් සාමාජිකත්වය ද හිමි කර ගෙන ඇත්තෙකි.

මිතුරන් අතර රේ ජයවර්ධන හැඳින්වෙන්නේ Ray Jay යන කෙටි නමිනි. විශ්වයේ ග්‍රාහකයක් ද රේට උපහාර වශයෙන් Asteroid (4668) Rayjay ලෙස නම් කරනු ලැබ ඇත. එවැන්නකට හිමිකම් ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද ඔහු විය යුතුය.

ලෝක ප්‍රකට හොප්කින්ස් සරසවියේ මුල් පුටුවකට ගිය ශ්‍රී ලාංකිකයා රේ.ජයවර්ධන
රේ ජයවර්ධන සිය පියාවන සෝමපාල ජයවර්ධන සමග කළකට පෙර

රේ ජයවර්ධන කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමට පෙර කැනඩාවේ යෝක් විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ලෙසත් ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කැනඩා පර්යේෂණ අංශයේ සභාපති ලෙසත් කටයුතු කර ඇති අතර එම විශ්වවිද්‍යාලයන්හි භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇතැයි පැවසේ. තාරකා විද්‍යා හා ශාස්ත්‍රීය පර්යේෂණ අංශයන්හි මෙන්ම ලේඛනයෙහි ද රේ සැබෑ දක්ෂයෙකි. The Economist, The New York Times, The Wall Street Journal ආදී ලොව ප්‍රසිද්ධ සඟරා රැසකම ඔහුගේ ලිපි ප්‍රකාශයට පත්වී ඇත. trange new worlds කෘතියකි. ඒ හැර තවත් ග්‍රන්ථ 4ක් ඔහු අතින් ලියවී ඇත. ඔහුගේ Neytro Hunters 2014 නමැති කෘතියට කැනේඩියානු විද්‍යා ලේඛක සංගමයේ සම්මානයක් ලබාගත හැකි විය. දරුවන් තාරකා විද්‍යාව කෙරෙහි නැඹුරුවීමට පොළඹවනසුළු Child of the Universe 2022 නමැති කෘතිය ද රේ ජයවර්ධනයන්ගේ කෘතියකි.

රේ ජයවර්ධන ඉගැන්වීමේ කාර්යයට ද හැබෑ හපනෙකි. ඒ සඳහා ඔහු විශිෂ්ට සමර්ථ ලබා ඇත. හාවඩ් සරසවියෙන් පමණක් සිවු වරක් උගැන්වීම සඳහා සම්මාන (Teaching Awards) හිමිකරගෙන ඇති ඔහු එහි පවත්වා ඇති දේශන ගණන 100කට වඩා වැඩි බව පැවසේ.

ලෝකයේ ශ්‍රේණිගත කිරීම් අතර 28වන ස්ථානයේ සින්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයයි. එහි සභාපති රොන් ඩැනියල්ස් පවසන්නේ රේගේ දක්ෂතා පිළිබඳ වාර්තා, ඒවායේ විශිෂ්ටත්වය හා ඒවායේ ප්‍රමිතිය වෙනුවෙන් දක්වන කැපවීම රේට මේ නව තනතුර ලබා දීමට හේතු වූ බවයි.

තාරකා විද්‍යාව තුළ රේ ජයවර්ධනයන්ගේ භූමිකාව අද්විතීයය. තාරකාවන්ගේ හා ග්‍රහලෝකවල උපත නිරීක්ෂණය, වෙනත් සෞරග්‍රහ මණ්ඩලවල ඇති පෘථිවිය හා සම ග්‍රහලෝක සොයා යෑම, ග්‍රහලෝකයකට වඩා විශාල නමුදු තාරකාවකට වඩා කුඩා ‘දුඹුරු වාමනයන්’ (Brown Dwarfs) පිළිබඳ ඔහු කළ අනාවරණ නිතරම ලෝකයට නව මාතෘකා සැපයීය.

වරක් ඔහු කැනඩාවේ වයස අවුරුදු 40ට අඩු අය අතර ඉහළින්ම සිටින හතළිස් දෙනාගෙන් අයෙකු ලෙස ද නම් කරනු ලැබ ඇත.

නව තනතුරේ හිඳිමින් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ තම අංශයේ ප්‍රගතිය සම්බන්ධයෙන් රේ දැනටමත් සැලසුම් සකස් කරන බව වාර්තා වේ. ඒ අනුව පීඨයේ නවීකරණයන් තුළින් අධ්‍යාපනික නවෝත්පාදන සමග වඩා නිර්මාණාත්මක හා විශිෂ්ට පර්යේෂණ හා අනාවරණයන් නුදුරේදීම ලෝකයට දායාද කිරීමට මේ විශිෂ්ට ලංකා පුත්‍රයා සමත් වනු ඇත. ශ්‍රී ලංකා නාමය ද කියවෙන ඒ සෑම ජයග්‍රහණයක් සමගම ඔහු තවත් නව පුවත් මවනු ඇත.

දීපිකා ප්‍රියදර්ශනී.

advertistmentadvertistment
advertistmentadvertistment