ව්‍යවස්ථාදායකය – විධායකය -අධිකරණය අභිබවා ජනඅරගල කුලුන ඉදිරියට ඇවිත් = අරගලය සමග සම්මුතියකට එන්නේ නැතිව කාටවත් දේශපාලනය ගණන් හදන්න බෑ – කුමාර් ගුණරත්නම්

341

රනිල් වැඩබලන  ජනපති වීම සදාචාර විරෝධීයි

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිමූර්තිය හෙවත් කුලුනු තුන අභිබවා අරගලය නමැති ‘ජන බල කුලුන’ සක්‍රීය වී ඇති බවත් අරගලය සමග සම්මුතියකට නෑවිත් කාටවත් මින් ඉදිරියට දේශපාලනය පිළිබඳ ගණන් හැදිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (13දා) පැවසීය. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. ජන අරගලය යනු මෙරට හතර වන බල කුලුන යැයි ද ඔහු පැවසීය.

ඒ මහතා මෙසේද කීවේය.

ජන අරගලය කියන ජන බල කුලුන දැන් සක්‍රීයයි. ඒක තමයි මේ රටේ හතරවෙනි බල කුලුන. බලය තියෙන්නේ ව්‍යවස්ථාදායකයේද, විධායකයයේ ද අධිකරණයයේද අරගලයේ ද කියා ඇසුවොත් උත්තරය තමයි අරගලය. ජනතාවගේ බලය ඒ තරම් ශක්තිමත් වෙලා. මේ රටේ නව නීතිය හා සම්මුති අරගලයයි.

මේ රටේ දේශපාලනය කරන හැමෝම අරගලය සමග සම්මුතිගත විය යුතුයි.

දැන් රනිල් වික්‍රමසිංහව වැඩබලන ජනාධිපති කරලා. ගෝඨාභය නම් ආවෙ මැතිවරණය හරි දිනලා. රනිල් කියන්නේ ජනවරමක් නැතුව ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක්. ඔහු පාරාජිකා චරිතයක්. එවැනි කෙනෙකු වැඩබලන ජනාධිපති කිරීම ව්‍යවස්ථා විරෝධීයි වගේම සදාචාර විරෝධීයි. එක දිනයක් හෝ ජනාධිපති වීමේ හීනෙක ඔහු ඉන්නවා. ඒ හීන රටට වලංගු නැහැ.

ව්‍යවස්ථාව කියන ලියවිල්ලට මුවා වෙලා තමයි ඔහු තනතුරු භාර ගන්නෙ. ඔහු වැඩබලන ජනාධිපති කිරීම දේශපාලන කුමන්ත්‍රණයක්. ඔහුට වුවමනා රට තව තවත් අරාජික කිරීමටයි. අපිට මතකයි කළු ජූලිය කාලේ රනිල්ගේ භූමිකාව. ජුලි නව වැනිදා අරගලයෙන් ඉහළම ජයග්‍රහණයක් ගත් ජනතාව දැනටත් සටන් කරමින් සිටිනවා. එමනිසා රනිල්ගේ මේ පත්වීම් අපි පිළිගන්නේ නෑ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment