වැඩට එන්න – ඇමැති ඉල්ලයි

295

සෞඛ්‍ය සේවාව නිසි ලෙස පවත්වාගෙන යෑම සඳහා සෑම වෘත්තිකයකුගේම සේවය ඉතා වටිනා බැවින් ජනතාව පිළිබඳව සැලකිල්ලට ගෙන නැවත සේවය ආරම්භ කරන ලෙස වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිවල ඉල්ලීම සම්බන්ධව විසඳුම් ලබාදීමට පවතින සීමිත මූල්‍ය පහසුකම් තුළ මුදල් අමාත්‍යාංශය ක්‍රමවේදයක් ඉදිරිපත් කළ ද ඉන් ලබාදෙන මුදල සම්බන්ධව වෘත්තීය සමිති එකඟතාව පළ කර නැතැයි ද අමාත්‍යවරයා කීවේය.

වෛද්‍යවරුන්ට ලබාදී ඇති දීමනාවෙන් වැඩි කොටසක් නැවත රජයට බදු ලෙස අයවෙන බවත් එනිසා ඔවුනට විශාල මුදලක් හිමි නොවන බව මුදල් අමාත්‍යාංශය සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලු රාජ්‍ය සේවකයන්ට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය මගින් යෝජනා කළ රුපියල් දසදහසකින් පඩි වැඩි කිරීම යටතේ දැනට ඉන් පන්දහසක මුදලක් ලබා දෙන බවත් අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණ මුදල හිමිවන බවත් පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන වැඩ වර්ජනය අවසන් කර සේවය ආරම්භ කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment