විකාශන නියාමන කෙටුම්පත ආවොත් මාධ්‍ය ආයතනවල ආයුෂ ආණ්ඩුව අතේ – ජී. එල්. පීරිස්

50

විකාශන නියාමන කෙටුම්පත ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවේ ගුණ වර්ණනා කරන තාක්කල් මාධ්‍ය ආයතනවල ආයුෂ කාලය තීරණය වනු ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (05දා) පැවැසීය.

මාධ්‍ය නිදහස ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් බවත්, එය මානව අයිතිවාසිකම්වල උල්පත බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කීය.

මෙම යෝජිත කෙටුම්පත නීතිගත කර මාස 06 ක් ගිය පසු සියලුම මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසිවන බවත්, නැවත ලබාගන්නා බලපත්‍ර වසරක් පාසා ලියාපදිංචි කළයුතු බවත් හෙතෙම කියා සිටියේය. යෝජිත කෙටුම්පතින් පිහිටුවන කොමිෂන් සභාව සර්වබලධාරී ආයතනයක් වන බව පැවසූ ජී.එල්. පීරිස් මහතා කුමන කොමිෂන් සභා පත්කළත් මාධ්‍ය ආයතන පවත්වාගෙන යනවාද නැද්ද අවසාන තීරණය

ගන්නේ ජනාධිපතිවරයා බවද කීය. මෙම යෝජිත කෙටුම්පත මගින් පිහිටුවන තවත් ආයතනයක් වන්නේ විමර්ශන කමිටුව බවත් එම කමිටුවට කිසිම චෝදනාවකින් තොරව ඕනෑම මාධ්‍ය ආයතනයක් ගැන විමර්ශනය කළ හැකි බවත් පැවසූ පීරිස් මහතා එය ඉතා භයානක තත්ත්වයක් බවද කියා සිටියේය.

යෝජිත කෙටුම්පත නීතිගත වුවහොත් සත්‍ය තොරතුරු රටට හෙළිකිරීමට කිසිවකු ඉදිරිපත් නොවන බවද එමගින් ඉහවහා ගිය වංචා, දූෂණ සිදුවන බවද හෙතෙම පැවැසීය.

මෙම යෝජිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ විරෝධය දක්වන අතර අධිකරණ හා දේශපාලන ක්‍රියාමාර්ගවල නිරත වන බවද ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment