විදුලි බිලට දෙන්න යන වැඩේ අද හෙළි කරනවා – කොමිසමේ සභාපති ජනක

422

විදුලි ගාස්තු අඩු කිරීමට (සංශෝධනයට) අදාළව ලංවිම සකස් කළ යෝජනාවලියක් මේ වනවිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ලැබී තිබෙන අතර එහි ඇති පරස්පරතා පිළිබඳව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18 දා) දිනයේ විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇත.
මේ වෙනුවෙන් විශේෂ පුවත්පත් සාකච්ඡාවක් අද (18 දා) පැවැත්වීමටත් ඒ සඳහා දෙස් විදෙස් මධ්‍ය වෙත ඇරයුම් කිරීමටත් කටයුතු කර ඇතැයි ද කොමිසමේ ආරංචි මාර්ග කියයි.

ඉකුත් කාලසීමාවේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ නිර්දේශ නොතකා හරිමින් ආණ්ඩුව දෙවරක්ම විදුලි ගාස්තු ඉහළ දැමූ අතර මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හා විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අතර මතබේද හටගෙන තිබිණි.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා කොමිසමේ බහුතර අනුමැතිය මත කොමිසම සභාපතිවරයා නිර්දේශ කළ මිල වැඩි කිරීමේ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමිණි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට නම් ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් සකසා එයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ගත යුතුය. ඊට අදාළ යෝජනාවලිය ද ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ගෙනඑන අතර ඒ සම්බන්ධයෙන් ද අද (18 දා) මාධ්‍ය හමුවේ සභාපතිවරයා කරුණු දක්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment