විස්සයි – 20 තරගාවලියේදී චමීර වෙනුවට බිනුර

134

ඇෆ්ගනිස්ථානයට එරෙහිව දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියට අදාළ 16 දෙනාගේ සංචිතයෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉවත් කර ඇත.

එක්දින තරගාවලියේ පළමු තරගයේදී ආබාධයට ලක්වීම හේතුවෙන් එම තරගාවලියේ දෙවන සහ තෙවන තරග ද අහිමි වූ චමීරගේ ස්ථානය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කැඳවා ඇත.

තරගාවලියට සහභාගී වන අදාළ සංචිතය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේද අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (12දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට තෝරා නොගත් හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක ද පන්දුවාර විස්සයි – 20 තරගාවලිය සඳහා කැඳවා ඇත.

සිම්බාබ්බේ සමග පැවැති පන්දු වාර විස්සයි – 20 තරගාවලිය සඳහා ක්‍රීඩා කළ දසුන් එහි පළමු තරගයේදී නොදැවී ලකුණු 26ක් ලබමින් ඇන්ජලෝ මැතිව්ස් සමග ලකුණු 55 ක ජයග්‍රාහී සම්බන්ධතාවයක් පැවැත්වීය.

දෙවන තරගයේදී ලකුණු 9 කට දැවී ගිය දසුන් ශානකට තෙවන තරගයේදී පන්දුවට පහර දීමට අවස්ථාව හිමි නොවිණි.

විස්සයි – 20 තරගාවලියේ කණ්ඩායම් නායක ලෙස වනිඳු හසරංගත් උපනායක ලෙස චරිත් අසලංකත් කටයුතු කරයි.

ලබන 17, 19 සහ 21 යන දිනවලදී තරගාවලියට අදාළ තරග පැවැත්වෙන අතර සෑම තරගයක්ම ප.ව. 7.00 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා සංචිතය

  1. වනිඳු හසරංග (නායක), 2. චරිත් අසලංක (උපනායක), 3. පැතුම් නිශ්ශංක, 4. කුසල් මෙන්ඩිස්, 5. ධනංජය ද සිල්වා, 6. කුසල් ජනිත් පෙරේරා, 7. ඇන්ජලෝ මැතිව්ස්, 8. දසුන් ශානක, 9. මහීෂ් තීක්ෂණ, 10. බිනුර ප්‍රනාන්දු, 11. මතීෂ පතිරණ, 12. ඩිල්ෂාන් මධුශංක, 13. නුවන් තුෂාර, 14. අකිල ධනංජය, 15. කමිඳු මෙන්ඩිස්, 16. සදීර සමරවික්‍රම

    කුෂාන් සුබසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment