විශේෂඥ වෛද්‍ය චමල් යළි සේවයේ පිහිටුවීමට අමාත්‍යාංශය කල් මරයි

58

විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා යළි රාජ්‍ය සේවයට එක්කර නොගැනීම පිළිබඳව තම නිරීක්‍ෂණ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගෙන් කරුණු විමසා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතා කළ ප්‍රකාශයක් මත 2022 වර්ෂයේ නොවැම්බර් මස දී ඒ මහතාගේ සේවය අත්හිටුවා තිබේ. සේවය අත්හිටුවා වසරකට වැඩි කාලයක් ගතවී ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ විමර්ශන මගින් ඒ මහතාට නඟා ඇති චෝදනා ඔප්පු කිරීමට අසමත්ව ඇතැයි පැවසේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවයේ පිහිටුවීමේ චක්‍ර ලේඛයට අනුව ඒ මහතා යළි සේවයේ පිහිටුවිය යුතු කාලය ඉක්මවා ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශය එහි ලේකම්වරයා සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය මත එම කටයුතු ප්‍රමාදවී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කියයි.

අමාත්‍යාංශයේ ප්‍රමාදය නිසා විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා යළි සේවයේ පිහිටුවීම අපහසු වුවහොත් රාජ්‍ය පරිපාලන අභියාචනාධිකරණය හමුවට ගොස් මේ සම්බන්ධව පැමිණිලි කරන සන්ධානය වැඩිදුරටත් පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment