වෙල්ලාලගේට පැහැබර අනාගතයක් තිබෙනවා – ඉන්දීය ක්‍රීඩක ලෝකේෂ් රාහුල්

1601

වීරයා වුවත් පරාජය දුකක් – වෙල්ලාලගේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ දස්කම්වලින් සපිරි පැහැබර අනාගතයක් ඇති ක්‍රීඩකයකු බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ලෝකේෂ් රාහුල් ප්‍රකාශ කළේය.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පෙරේදා තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් රාහුල් ඒ බව කීය.

ඔහු විසින් දවා ගනු ලැබුවේද ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් පස් දෙනෙකු බවත් පිතිහරඹයෙන් ද ඔහු දස්කම් දැක්වූ බවත් රාහුල් කීය.

“ඔහු හොඳින් දස්කම් දක්වනවා. මුල් පෙළ කඩුලු 5 ක් දවා ගැනීම විශේෂ දස්කමක්. ඔහු තවම තරුණ ක්‍රීඩකයෙක්. අනාගතය සඳහා ඔහු රැක ගත යුතුයි. පිතිකරණ දක්ෂතා ද ඔහුට තිබෙනවා.”

වෙල්ලාලගේ විසින් එම තරගයේදී දවා ගත් ශුබ්මන් ගිල් මේ වන විට එක් දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයේ ද විරාත් කෝලි 08 වෙනි ස්ථානයේ ද නායක රෝහිත් ශර්මා 09 වෙනි ස්ථානයේ ද පසු වෙති.

ඔහු ගේ අනෙක් කඩුලු දෙක වූ ලෝකේෂ් රාහුල් ඊට පෙර තරගයේ ශතකයක් ලැබූ අතර හර්දික් පාන්ඩයා ඉන්දියාව සතු ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා වේ.

ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වැඩිම කඩුලු ලාභියා වූ වෙල්ලාලගේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා ද වූයේය.

පන්දු 46 කදී නොදැවී ලකුණු 42 ක් ලබා ගත් වෙල්ලාලගේ එවැනි දස්කමක් කළ ළාබාලතම ක්‍රීඩකයන් අතර දෙවෙනි ස්ථානයට ද පත් වූයේය.

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක කපිල් දේව්ට පසුව වෙල්ලාලගේ එම දක්ෂතාවය දැක්වූවේය.

ඉන්දියාව තරගය ජයග්‍රහණය කළ ද වෙල්ලාලගේ ගේ එම තුන් ඉරියව් දස්කම් මත තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි විය.

එහෙත් තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී වෙල්ලාලගේ සඳහන් කර සිටියේ “වීරයා වුවත් තරගය පරාජය වීම දුකක්” බවයි.

ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 213 හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 172 කට දැවී ගියේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment