ශ්‍රී ලංගම ඇන්ඳවූ අම්පාර ඩිපෝවේ ලොක්කෝ මාට්ටු

675

ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200 ක් අලුත්වැඩියා කර නැවත ධාවනය කරවීමේ ව්‍යාපෘතිය යටතේ අම්පාර ඩිපෝව මගින් අලුත්වැඩියා කළ බවට සඳහන් බස් රථයේ අංකය වෙනත් ධාවනය කරන බස් රථයකට සවිකර බලධාරීන් නොමඟ යැවූ බවට චෝදනා එල්ල වී ඇති එම ඩිපෝවේ ඉහළම නිලධාරීන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (18 දා) පියවර ගෙන ඇත.

බස් රථ 200 ක් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යටතේ අම්පාර ඩිපෝව මගින් එන් බී 5432 දරන බස් රථය අලුත්වැඩියා කළ බවට සඳහන් කරමින් එම බස් රථයේ අංකය එන් බී 5430 දරන බස් රථයට සවිකර ව්‍යාපෘතියට ඉදිරිපත් කර ඇත.

මෙම බස් රථය අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය රුපියල් 2,066,650 ක මුදලක් වැයකර ඇති බවට සඳහන් වුවත් එවැනි බස් රථයක් අලුත්වැඩියාවක් නොකළ බවට ලද තොරතුරු මත සිදුකළ විමර්ශනයේදී මෙම වංචාව හෙළිවී ඇත.

තනතුරුවලින් ඉවත් කර ඇත්තේ අම්පාර ඩිපෝවේ ඉංජිනේරුවරයා සහ අතිරේක ඉංජිනේරුවරයා යැයි ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවැසීය. මෙම සිද්ධිය ගැන විමර්ශන සඳහා කොළඹින් ගිය නිලධාරීන් කණ්ඩායම ඊයේ (18 දා) කොළඹට පැමිණි බවත්, ඔවුන් විසින් විමර්ශන වාර්තාවක් අද (19 දා) භාරදීමෙන් පසු වංචාව සිදුකළ බවට චෝදනා එල්ලවන පිරිසට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද අල්විස් මහතා පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment