ශ්‍රී ලාංකික කතුන් 60 ක් ඩුබායි නිවාස අඩස්සියේ දස වැඩ ගනිති

247

ජාවාරම මෙහෙයවන්නේ ලංකාවේම කතුන් 3ක්
සේවය කර ලබන පඩියත් ඔවුන්ම සූරා ගන්නවා

මෙරට විදේශ රැකියා ආයතන කීපයක් මගින් ඩුබායි හි (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ගෘහ සේවය සඳහා විදේශගත කළ 60 කට ආසන්න තරුණ සහ වයෝවෘද්ධ කතුන් පිරිසක් නිවාස අඩස්සියේ තබාගෙන විදේශ රැකියා ආයතනවලට සම්බන්ධකම් තිබෙන මෙරට කාන්තාවන් තිදෙනකු විසින් සිදු කරනු ලබන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනුරාධපුර

පරසන්ගස්වැව ප්‍රදේශයෙන් අනාවරණය වේ.

වසර දෙකකට ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා රැකියා ලබා දෙන බව පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන කිහිපයක් මගින් මෙම කාන්තාවන් ඩුබායි රාජ්‍යයට යවා ඇති බවත්, එහි සිටින තවත් මෙරට කතුන් තිදෙනකු ප්‍රධානත්වය දරන ආයතනයක් වෙත එම කාන්තාවන් යොමු කරමින් ජාවාරම පවත්වා ගෙන යන බවත් ඊට මුහුණ දුන් කාන්තාවන්ගේ හඬපටවලින් සහ මෙරටට පැමිණි කාන්තාවකගෙන් හෙළි විය.

ඩුබායි රාජ්‍යයේ වෙසෙන මෙරට කතුන් තිදෙනකුගේ පාලනය යටතේ ගෘහ සේවය සඳහා විදේශගත වූ කාන්තාවන් 50ක 60ක පිරිසක් මෙලෙස නිවසක සිර කර තබා ගෙන සිටින බවත්, එම කාන්තාවන් වරින් වර දින පහකට හයකට ගෘහ සේවයට යවා වැඩ කරන දිනවලට ලැබෙන වැටුප එරට ජාවාරමේ යෙදී සිටින කාන්තාවන් තිදෙනා විසින් ලබා ගන්නා බවත් පීඩාවට පත්ව සිටින කාන්තාවක රහසිගතව ලබාදුන් දුරකථන ඇමතුමක පටිගත වී තිබේ.

ගෘහ සේවයට යොදවන නිවෙස්වලදී තමන්ට කුස පුරවා ගැනීමට තරම් ආහාර හෝ අසනීපයකදී බෙහෙත් පවා නොලැබෙන බවත් විවේකයක් නොලබා පැය ගණනාවක් අඛණ්ඩව දිනකට පැය 18 කට ආසන්න කාලයක් සේවය කිරීමට සිදුව ඇති බවත් හඬ පටයක් එවමින් එම කාන්තාවෝ පවසති.

ඩුබායි ගෘහ සේවයට ගොස් අසරණව සිටින කාන්තාවකගේ සැමියා වන අනුරාධපුර පරසන්ගස්වැව පදිංචි එස්.ඒ. මංගලසේන මහතා මෙසේ කියා සිටියේය.

“මගේ නෝනා කුරුණෑගල ඒජන්සියකින් තමයි රට ගියේ. ගිහින් මාස තුනක් ඒජන්සියේ තමයි ඉඳල තියෙන්නේ. දැන් වරින් වර නිවෙස්වල වැඩට දානවලු. ඒ ගෙදර කන්න දෙන්නේ නැහැ කියනවා. කතා කරන්නෙත් හොරෙන්. ඒ කතා කරන කොට කියනවා බොන්න වතුර ටිකක්වත් දෙන්නේ නැහැලු. අවසානෙට කතා කළේ වැසිකිළියේ තියාගෙන රොටියක් කන ගමන්. ගේ විකුණලා හරි ගෙන්න ගන්න කියනවා. නැත්තං එයා එහේ සියදිවි හානි කර ගන්නවා කියලා කියනවා. දැන් දවස් තුනකින් කතා කළේ නැහැ. එයාලා එහේ වැඩ කරන දවස්වල පඩිය ගන්නෙ කාන්තාවන් තුන් දෙනෙක් කියලා කිව්වා. ලෙඩෙක් නිසා මට කුරුණෑගල ඒජන්සියට යන්න විදියක් නැහැ. ඒජන්සියේ අතරමැදියෙක් කතා කළා. එයා කියනවා ගෙන්නලා දෙන්න ලක්ෂ පහක් දෙන්නලු. ඒ වියදම් වෙච්ච ගාස්තුවලු.

ඉඩම උකස් කරල නෝනව ගෙන්න ගන්න විදියක් නැහැ. මොකද පදිංචි වෙලා ඉන්න ඉඩමට ඔප්පුවක් හෝ බලපත්‍රයක්වත් නැහැ. පුතාල දෙන්නෙක් ඉන්නේ. එක පුතෙක් තවම එක වසරේ. නැති බැරිකම හින්දා තමයි බිරිඳ රට ගියේ. මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. මම රජයේ බලධාරීන්ගෙන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මගේ නෝනා ඇතුළු නිවසක සිර කර ගෙන ඉන්න පිරිස ලංකාවට ගෙන්නලා දෙන්න කියලයි.

මෙම ජාවාරමට හසුවී සිට ඉන් මිදී මෙරටට පැමිණි අනුරාධපුර, පරසන්ගස්වැව පදිංචි තුෂාරා නිල්මිණි මහත්මිය මෙසේ කීවාය..

“මම ජුනි 30 ඩුබායි ගියා. එතැනට ගියාම එහේ ඒජන්සියක මාව මාසයක් හිර කර ගෙන හිටියා. ඊට පස්සේ ජූලි 21 මාව ගෙදරක වැඩට දැම්මා. ඒ ගෙදර මැඩම් හරි නරකයි. එයා මානසික ලෙඩකට බෙහෙත් ගන්නවා. ඊට පස්සෙ මම ඒජන්සියට කතා කරලා කිව්වා, මාව වෙන ගේකට මාරු කරලා දෙන්න කියලා. ඒ අය මාසයක් ඉන්න කිව්වා. මාසේ හිටියම තවත් දවස් දහයක් ඉන්න කිව්වා. මහත්තයට කතා කරල මේ සම්බන්ධයෙන් කිව්වා.

ඊට පස්සේ අපි පදිංචිවෙලා ඉන්න ඉඩම සහ නිවස උකස් කරල තමයි මහත්තයා මාව ගෙන්න ගත්තේ. මාව ලංකාවට එවන්න කලින් මගේ හඬපටයක් එයාලා ගත්තා. ගැහුවේ නෑ, සල්ලි ගත්තෙ නෑ, ආහාර පාන බෙහෙත් අවශ්‍ය වෙලාවට ලබා දුන්නා කියලා, ඒවා හඬපටයට කියන්න කිව්වා. එයාලා ඒක පටිගත කර ගත්තා. මම ඒ දවස්වල වැඩ කරපු සියලුම පඩිය එයාලා ගත්තා. වයස 60ට වැඩි අම්මලා එතන හිර කර ගෙන ඉන්නවා. හොඳට උයන්න පිහන්න ගේ දොර වැඩ කරන්න පළපුරුදු හින්දා මේ හිර කර ගෙන ඉන්න ගෙදර ගෑනු තුන්දෙනා එම වයසක අම්මලා වැඩට වැඩිපුර යොදවනවා. මෙතන ඉන්නේ කුරුණෑගල විදේශ රැකියා ආයතන කිහිපයකින් ගියපු අය.

මම මේ සම්බන්ධයෙන් විදේශ සේවා කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කවුද දන්නේ නැහැ කෝල් කරලා මට කියනවා මුදල් දෙන්නම් පැමිණිල්ල අස්කර ගන්න කියලා, කටඋත්තරයක් ගන්න එන්න කියලත් කියනවා. මම දන්නෙ නෑ කතා කරන්නේ ඒ ඒජන්සියෙන් ද විදේශ සේවා එකෙන්ද කියලා. මම ඉල්ලන්නේ මගේ වැඩ කරපු පඩිය දෙන්න කියලයි.

තවත් කාන්තාවන් විශාල ප්‍රමාණයක් මෙහි සිර කරගෙන සිටිනවා. අවුරුදු 65ක අම්මා කෙනෙක් ඉන්නවා පොලොන්නරුවෙන් ගිය. සීනි අමාරුව හැදිලා නිතරම ඒ අම්මා කලන්තේ දාලා වැටෙනවා. එයාගෙන් හොඳටම වැඩ ගන්නවා. ඒ වගේම අම්මා කෙනෙක් මීගමුවෙන් ගිහින් ඉන්නවා. ගෙවල්වල වැඩට දාන කාන්තාවන්ගෙන් උදේ 6:00 ඉඳලා රෑ 12 විතර වෙනකම් වැඩ ගන්නවා. ලැබෙන පඩිය කීයද කියලවත් අපි දන්නෙ නැහැ. මේ අය ඉන්නේ අජ්මාන් නගරයේ නිවසක රඳවලා. එම නිවසේ වැසිකිළි පහසුකම් අවමයි එකවර පෝලිමේ 50ක් පමණ ඉන්නවා වැසිකිළි යන්න.

මේ පිළිබඳව මෙරට බලධාරීන් දැනුවත් කර ඇති බවත් කඩිනමින් ඩුබායි රාජ්‍යයේ දුෂ්කරතාවට පත්ව සිටින එම සියලුම කතුන් මෙරටට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙසත් එම පවුල්වල සාමාජිකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment