සජිත්ට සහ මද්දුම බණ්ඩාරට තහනමක් ඉල්ලූ ඩයනාගේ පෙත්සම විසි වෙයි

126

සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාට හා එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට එම තනතුරු දැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (24 දා) ප්‍රතික්ෂේප කරන ලදී.

එම දෙදෙනා 2021 වසරෙන් පසු එජාපයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බැවින් ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ලෙස සැලකිය නොහැකි බවත් ඒ අනුව ඔවුනට සමගි ජන බලවේගය පක්ෂයේ තනතුරු දැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් මුල් අවස්ථාවේදීම නිකුත් කිරීමේ අවශ්‍යතාවක් තම අධිකරණය නොදකින බවත් සිය නියෝගය නිකුත් කරමින් ප්‍රධාන දිසා විනිසුරුවරයා පෙන්වා දුන්නේය. සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන අය වන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පවරනු ලැබූ නඩු කටයුතු පවා අධිකරණය හමුවේ පවතින බැවින් ඔවුන් දෙදෙනාට සමගි ජන බලවේගය පක්ෂ තනතුරු දැරීමට අයිතියක් නොමැති බවට නිගමනය කර තීන්දුවක් නිකුත් කරන ලෙසත් එතෙක් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඩයනා ගමගේ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි. පෙත්සම්කාරිය ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කරුණු පරීක්ෂා කිරීමේ දී ඇය අධිකරණයට නඩු නිමිත්තට අදාළ ඇතැම් කරුණු අධිකරණයෙන් වසන් කිරීමට උත්සාහ දරා ඇතැයි ද විනිසුරුවරයා සිය නියෝගය මගින් පෙන්වාදී තිබිණි. කෙසේ නමුත් ඇය ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් උත්තර බැඳීම සඳහා එම නඩුව ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා දින නියම කළේය.

නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ පර්මාන් කාසිම් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment