සද්දා මංගලගේ පුතා පාර දිගේ ජූඩා වූ හැටි

827

මේ දිනවල අතිශයින් ජනප‍්‍රිය පාර දිගේ ටෙලිනාට්‍යයේ ‘ජූඩා’ ගේ චරිතයට පණ පොවන යොවුන් නළුවා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගත් හැඩකාරයෙකි. ප‍්‍රහර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර වන මොහු, මෑත කාලීනව ටෙලිනාට්‍යය නිර්මාණකරණයේ පෙරළියක් සිදු කළ සද්ධාමංගල සූරියබණ්ඩාරගේ එකම පුතණුවන්ය.

පාර දිගේ ආව ගමන ගැන මොනවද හිතෙන්නේ?

පාර දිගේ කියලා කියන්නේ මගේ කුළුඳුල් ටෙලිනාට්‍ය රංගන අත්දැකීම. ඒ අත්දැකීම අලූත් සහ වෙනස් විදියේ අත්දැකීමක්. පළවෙනි දවසේ කැමරාව ඉදිරියේදී පුදුම බයක් හිතුණේ. ඒත් දැන් එහෙම හිතෙන්නේ නෑ. සිවගුරුනාදන් සර්, ගයාන් අයියා, සචිත් අයියා ඇතුළු හැමෝම මට උදව් කරනවා.

හැමෝගේම සහයෝගය එක්ක පාර දිගේ මේ තරම් දුරක් මට එන්න පුළුවන් වුණා. ජූඩා කියන වෙනස් අභියෝගාත්මක චරිතයට මම මට පුළුවන් උපරිම සාධාරණය කරනවා. පාර දිගේ ආව ගමන අත්දැකීම් පිරුණු සුන්දර එකක්.

ජූඩාට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

මුලින් කිව්ව වගේ මම මේ රංගනයට ආධුනිකයෙක්. ජූඩා කියන්නේ සෘණාත්මක අදහස් තියෙන හැබැයි දුර දකින නුවණින් වැඩ කරන කෙනෙක්. පේ‍්‍රක්ෂකයෝ බහුතරයක් ජූඩාගේ චරිතයට කැමැතියි. මේ වෙද්දි ඒ චරිතයට හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර තියෙනවා. මගේ යහළුවන්ට තවමත් පුදුමයි මම රඟපානවා කියන එක. ඔවුන්ගෙනුත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

ඉඳුවර ජූඩා වුණේ අප්පච්චිගේ බල කිරීමටද?

කවදාවත් අප්පච්චිවත් අම්මවත් මට රඟපාන්න බලකරල නෑ.පොඩි කාලේ ඉඳලම මට රඟපාන්න ආසාවක් තිබිලත් නෑ මම ටිකක් නිහඬ චරිතයක්. රඟපෑම කියන දේට කැමති කෙනෙක් නෙමෙයි. කොහොම හරි පළවෙනි රංගන අත්දැකීම විදිහට අප්පච්චිගේ පිටපතකට පාර දිගේ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව උදාවුණා.ිඅප්පච්චි, අම්මා කලාවට සම්බන්ධ නිසා මගේ ගමනට ඔවුන් විශාල ශක්තියක්.

රංගනයට එක් වුණු ඉඳුවරට අප්පච්චි දුන්න අමතක නොවන උපදේශය මොකක්ද?

මේ කලාව කියන්නේ සුන්දර දෙයක්. නමුත් රඟපෑම ජීවන වෘත්තිය කරගන්න එපා. ඒක විනෝදාංශයක් විදිහට පමණක් කරගෙන යන්න කියලා තමයි අප්පච්චි මට කීවෙ. ඒක තමයි රඟපෑම සම්බන්ධයෙන් අප්පච්චි මට දුන්නු අමතක නොවනම උපදේශය. හැබැයි පාර දිගේ ටෙලිනාට්‍ය රූපගත කිරීම ආරම්භ වුණ දවසේ ඉඳලා මේ දක්වාම අප්පච්චි මගේ ළඟින්ම ඉන්නවා.

සංගීතයට යොමු වුණේ කොහොමද?

මම හය වසරෙදි විෂයයක් විදියට බටහිර සංගීතය හැදෑරුවා. පස්සේ සාමාන්‍ය පෙළ දක්වා පෙරදිග සංගීතයට යොමු වුණා. උසස් පෙළට කළේ වාණිජ විෂයයන්. සාමාන්‍ය පෙළින් පස්සෙ යාළුවෙක් එක්ක එකතු වෙලා යූ ටියුබ් චැනල් එකක් හදලා ඒකට කවර්ස් කරන අතරේ සංගීතයේ තාක්ෂණික පැත්ත ඉගෙන ගන්න කැමැත්තක් ඇති වුණා. රංග දසනායක ගුරුවරයා යටතේ ඒ සම්බන්ධයෙන් හැදෑරුවා.

ඉඳුවර වැඩියෙන්ම කැමති රංගනයට ද සංගීතයටද?

මම මුලින් කිව්වා වගේ ඉස්සර රංගනයට මගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. පොඩි කාලේ ඉඳලම ගායනයට වාදනයට මට හැකියාව තිබුණා. දැන් මම සංගීතයට වගේම රංගනයටත් කැමතියි. ඒ නිසා වැඩියෙන්ම කැමති සංගීතයට ද රංගනයට ද කියන එක දැන් මටත් ප‍්‍රශ්නයක්.

දැන් රංගනයට ආරාධනා ලැබුණොත් ඒවා බාරගන්නවද?

සමහරවිට හොඳ චරිතයක් ලැබුණොත් මට කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් බාරගන්නවා. මේ හැමදේම කරන්නේ අම්මයි අප්පච්චියි එක්ක කතා කරලා ඔවුන්ගේ උපදෙස් එක්ක.

අග්නි පියාපත් ටෙලිනාට්‍ය එක්ක තිබුණ සම්බන්ධය මොකක්ද ?

මම අග්නි පියාපත් ටෙලි නාට්‍යයට පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් තමයි සම්බන්ධ වුණේ. පාර දිගේ ටෙලිනාට්‍යයේත් පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සම්බන්ධ කටයුතු සිදු කරනවා. පිටපත් රචනය පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?

පිටපත් රචනය කියලා කියන්නේ සරල දෙයක් නෙමෙයි. අප්පච්චි ඒ වෙනුවෙන් කැප වෙන තරම මම දන්නවා. තවම පිටපත් රචනය ගැන මට අදහසක් නෑ. ඒත් මට උවමනාවක් තියෙනවා සිනමා අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ඒ වගේම ගීතයක් නිර්මාණය කිරීමේ අදහසකුත් තියෙනවා. මේ හැමදේටම ගායනය, වාදනය, අධ්‍යක්ෂණය, රංගනය සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

කුළුදුල් රංගන අත්දැකීම ගැනත් මතක් කරමු.

මුල් දවස්වල අප්පච්චි ඉන්න තැන රඟපාන්නත් පොඩි බයක් දැනුණා. දෙබස් අමතක වීම වගේ දේවල් සිද්ධ වුණා. කොහොම වුණත් රඟපෑම කියලා කියන්නෙත් දකින තරම් පහසු දෙයක් නෙමෙයි. ඒකට හොඳ අවබෝධයක් අත්‍යවශ්‍යයි. අප්පච්චි, සිවගුරුනාදන් සර්, පාර දිගේ කණ්ඩායම එක්ක වැඩ කරන්න ලැබීම අමතක නොවන අත්දැකීමක්. මේ ගමනට ශක්තියක් වුණු අම්මා අප්පච්චි වගේම මගේ ගුරුවරුන් යහළුවන් හැම දෙනාටමත් මාව ආදරයෙන් වැලඳගත්ත පේ‍්‍රක්ෂකයන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment