සනත් නිශාන්තට රට යන්න උසාවියෙන් අවසර නොලැබෙයි : පවිත්‍රාට කොන්දේසි පිට අවසර

122

ගෝඨා ගෝගම ගාලු මුවදොර අරගල භූමියේ රැඳී සිටි නිරායුධ අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහරදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට සතියක කාලයක් වන්දනා චාරිකාවක් සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (16දා) ප්‍රතික්ෂේප කරන ලදී. පසුගිය මැයි 9 වැනිදා සිදුවූ එම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන රාජ්‍ය ඇමැතිවරයාට විදේශගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය දැඩි ලෙස විරුද්ධ වන බව කියමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රාජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. එම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබූ සනත් නිශාන්ත මහතාට ඇප ලබාදුන් දින අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් පනවා තිබිණි.

මේ අතර එම පහරදීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අවදියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුව විදේශ ගමන් වැළැක්වීමේ නියෝගයක් පනවා තිබූ හිටපු ඇමැතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොන්දේසි පනවා විදේශගතවීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment